උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මත්ස්‍ය අස්වැන්නක්
උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000 ඉක්මවූ වාර්තාගත මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පවසයි.
මෙම අතිවිශාල අස්වැන්නේ වෙළඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂ නවදහස් තුන්සිය අනූතුනක් (රු. 10,909,393) ලෙස ගණන් බලා ඇත.
බලන්ගොඩ ඇතුළු උඩවලව ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම මත්ස්‍ය අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.
මෙම අස්වැන්නට කැට්ලා කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් ඇතුළත් වූ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ලබාගත් මත්ස්‍ය තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට කටයුතු කර ඇති අතර, මෙහි ප්‍රතිලාභ ධීවර කාර්මිකයන් 313 දෙනෙකුට සෘජුවම හිමි වී ඇත.
මීට අමතරව තවත් පුද්ගලයන් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා ද මෙමඟින් උදා වී තිබේ. පාරිභෝගිකයන්ට අඩු මුදලකට නැවුම් මිරිදිය මසුන් ලබා ගැනීමට හැකිවීම හරහා ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමට ද මෙය මහඟු පිටුවහලක් විය.
මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මේ වසර තුළ පමණක් උඩවලව ජලාශය තුළ මිරිදිය මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.