ගිලිහෙමින් ඇති සාරධර්ම හා හර පද්ධති රට තුළ යළි ස්ථාපිත කරනවා - ජනාධිපති
ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් හා අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නැති බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම හා හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙය ජනාධිපතිවරයා සඳහන් කළේ, ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ(25) පස්වරුවේ සහභාගී වෙමිනි.
රංගිරි දඹුලු රජමහා විහාරයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කර ප්‍රථම මල් පූජාව සිදු කළේය.
අනතුරුව, බෝධි ප්‍රාකාරය විවෘත කිරීම සනිටුහන් කරන සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.
ඉන්පසු උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ, යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් සිදු කළ නොහැකි බවය.
එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිවරුන් ඇතුළු ආගමික නායකයින්ට ප්‍රමුඛ වගකීමක් පැවරී ඇති බවද සඳහන් කළේය.
රටට අවශ්‍ය ආර්ථික, සමාජීය හා දේශපාලන පරිවර්තනයේදී නැණගුණයෙන් හා යහගුණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
එසේම, අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මල්වතු, අස්ගිරි උභය විහාරවාසී මහා සංඝරත්නය, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමිපාණන් වහන්සේ, රංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැදිරුප්පේ මහින්ද හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නය, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
