‘රට එකට’ වැඩසටහන ශක්තිමත් කිරීමට රජයෙන් පූර්ණ සහය
රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ‘රට එකට’ ජාතික වැඩසටහන තිරසාරව පවත්වාගෙන යාමට සහ තවදුරටත් ශක්තිමත් කිරීමට රජය සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, ‘රට එකට’ වැඩසටහනේ ක්‍රියාත්මක කටයුතු සහ “ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත ජාතියක්” යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයට ඊයේ (21) සිදු කළ සංචාරයේදීය.
මෙම සංචාරයේදී දිවයින පුරා පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාල තුරන් කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරන මෙහෙයුම්, ප්‍රගතිය සහ අනාගත සැලසුම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
එමෙන්ම, මෙම ජාතික මෙහෙයුමට දායක වන නාවික නිලධාරීන්ගේ කැපවීම අගය කරමින් රජයේ කෘතඥතාවද පළ කර ඇත. නාවික හමුදාව විසින් දිවයින වටා සමුද්‍ර සහ අභ්‍යන්තර ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් නිරීක්ෂණ සහ මෙහෙයුම් ජාලයක් පවත්වාගෙන යන අතර, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර ආරක්ෂා කිරීම සඳහා සියලු සම්පත් යොදවා කටයුතු කරන බවද සඳහන් වේ.
සංචාරය අවසානයේදී නාවික නිලධාරීන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාවේ අඛණ්ඩ මෙහෙයුම් කටයුතු සහ ජාතික ආරක්ෂාවට ලබා දෙන දායකත්වය අගය කරමින්, තාක්ෂණිකව සහ මෙහෙයුම්මය වශයෙන් වැඩිදියුණු කිරීම් සිදු කරන ලෙසද උපදෙස් ලබා දී ඇත. මෙම අවස්ථාවට නාවික මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇත.