මැදපෙරදිය යුධමය වාතාවරණය සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද්ධ ගැටුම් සහ ඒවායෙන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයින් සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ පවතින යුද්ධමය වාතාවරණය, ආර්ථික සහ රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණු කිහිපය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් දක්වමින් ය.
තවද ඔහු පවසන්නේ, මේ මූලික අරමුණ සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ දීර්ඝකාලීන සහයෝගීතාවය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.
එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කරේ,
"අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපයේ රටවලට බෝම්බ හෙළමින් පහරදෙනවා. අනෙක් අතට ඉරානය, කලාපයේ තවත් සාමාජිකයින් වන ගල්ෆ් කලාපයේ රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කරනවා. අමෙරිකාව විසින් ඉරාන නෞකාවක් සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දමන්නේ සමුද්‍රීය ආරක්ෂාවට මුල්තැන හිමිවිය යුතු අපේ සාගර කලාපයේ. ඊට නිසි ප්‍රතිචාරයක් නොගැලීම හෝ අවම වගකීමක් දැරීම තුළින් පැහැදිලි වන්නේ අද අප පිළිගැනීමක් නොමැති තත්ත්වයට පත්වී ඇති ආකාරයයි.
ඒ අතර ඔබට දකින්න පුළුවන් අමෙරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමග සංවාදයේ නිරත වෙනවා. යුරෝපා රටවලුත් එකිනෙකා අතර සාකච්ඡාමය සංවාදයක් පවත්වාගෙන යනවා. ඉන්දීය සාගර කලාපයේ ඒ කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ සමීප සහයෝගීතාවක් සහ පුද්ගලික මට්ටමේ සාකච්ඡා සංවාදවලින් තොරව, අප ඇතිකරගතයුතු ආකාරයේ ඒකාබද්ධතාවක් ගොඩනැඟීමට හැකිවන්නේ නැහැ. අප නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කළ යුතුයි.
දේශපාලන කටයුතු, සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම, ආර්ථික ඒකාබද්ධතාව, ධීවර කටයුතු, කෘෂි කර්මාන්තය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කලාපයේ රටවල රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා කළ යුතු බවට මම යෝජනා කරනවා. අපි අපේ වරාය සහ සේවා සැපයුම් ද වැඩිදියුණු කළ යුතුයි. අපට තිබෙනවා කොළඹ ආරක්ෂක සංවාද මණ්ඩලය. අප එක්ව කටයුතු කළත් දේශපාලනමය දැකීමක් සම්බන්ධයෙන් තවමත් අවදානය යොමුකර නැහැ. අමෙරිකාව අද ගෝලීය කටයුතුවලින් ඉවත්වෙමින් සිටින්නේ. එය තවත් අතකින් කලාපයේ ආරක්ෂාවට සහ වර්ධනයට අවස්ථාව සලසන බව කිව හැකියි. අපට මේ අවස්ථාව උපයෝගී කරගෙන ඉන්දීය සාගර කලාපය සඳහා සැලැස්මක් සකස් කරන්න පුළුවන්. එහිදී අපේ කලාපීය රටවලට නිරන්තර සාකච්ඡා, සංවාද තුළින් අනෙකුත් සාගර කලාපීය කණ්ඩායම් මෙන් එකමුතුභාවයක් ගොඩනැංවෙන ආකාරය පිළිබඳ සොයාබැලීමට හැකිවේවි"
යනුවෙන් පවසයි.