රාජිතට සේනාරත්නට කොළඹ මහාධිකරණ නියෝග
අද (29) කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ 2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි අප්‍රේල් මස 29 වන දා කැඳවන ලෙසයි.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරු අමතමින් ප්‍රශ්ණ කලේ සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂාවක් ඇත්ද ලෙසයි.
ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දුන් අතර පසුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.
2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.