මාස 3ට වැඩිය යනවා - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
ඉකුත් දිනවල පැවැති අයහපත් කාලගුණයෙන් විනාශ වූ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉන් වැඩිම හානිය සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට බවත් රඹුක්කන සිට බදුල්ල දක්වා මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්රකාශ කළා.
එසේම මෙය සුනාමියෙන් වූ හානියට වඩා වැඩි හානියක් බවත් හානි වූ ස්ථාන බොහොමයකට ළඟාවීමට නොහැකි තරම් පස් කඳු කඩා වැටී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.
එමෙන්ම දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ ප්රකාශ කළේ උද්ගත වී ඇති මෙම තත්ත්වය නිසා කොළඹ - බදුල්ල දුම්රිය ධාවනය මෙන්ම ප්රධාන මාර්ගයේ මහනුවර දක්වා ධාවනය ද අඩාළ වන බවයි.
එසේම දුම්රිය මාර්ගයට සිදුව ඇති හානිය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැතත් වාර්තා වන අන්දමට විසල් හානියක් සිදුව ඇති බවද කී ගමනාගමන අධිකාරිවරයා ඉදිරි සතියේදී මෙම ස්ථාන නිශ්චිතව හඳුනාගත හැකි බවත් අලාභය කොපමණ දැයි තවමත් කිව නොහැකි බවත් වැඩිදුරටත් පැවසුවා.