කිලිනොච්චි පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පත්වීම ගැන අලුත් හෙළිදරව්වක්
කිලිනොච්චි පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත්කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. නහීම් මහතා එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. නහීම් මහතා මේ වනවිට මාස 11ක පමණ කාලයක් කිලිනොච්චි පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස සේවය කර ඇති බවයි.
ඔහුගේ සමස්ත සේවා කාලය අවුරුදු 29යි මාස 7ක් පමණ වන නමුත්, මීට පෙර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවය කර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති පොලිස් ස්ථාන මාරු පටිපාටියට අනුව, පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය පොලිස් කොමිසම සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තනතුර සඳහා පත් වීමට නම් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස හෝ අවම වශයෙන් ‘D’ ශ්‍රේණියේ පොලිස් ස්ථානයක සේවය කර තිබිය යුතු බවයි.
එම්.එස්. නහීම් මහතා එවැනි සේවා අත්දැකීමක් ලබා නොමැති බවත්, එම පත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නිලධාරියා සම්බන්ධයෙන් නොව පත්වීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පොලිස් කොමිසම විසින් පත්වීම සිදුකර ඇත්නම්, එම පත්වීම සඳහා පදනම් වූ නිර්දේශය කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය බවද ඔහු පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ නහීම් මහතා වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත්කර ඇති බවයි.
එවැනි පත්වීමක් උපරිම වසරක කාලයක් සඳහා සිදුකළ හැකි බවත්, ඔහුගේ එම පත්වීමේ කාලය මේ මස 10 වැනිදා අවසන් වන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, දිගු සේවා කාලයක් තිබුණද, ‘A’ ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් ඔහු සපුරා නොමැති බව අමාත්‍යවරයා පිළිගත්තේය.
ඒ අනුව, නහීම් මහතා වෙනත් ස්ථානයකට මාරු කිරීමට නිර්දේශ කර ඇති බවත්, සුදුසුකම් සපුරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු පත් කරන ලෙස පොලිස් කොමිෂන් සභාවට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.