කැනඩාවේදී මියගිය 23 හැවිරිදි ඉන්දීය තරුණියගේ මරණයේ ඇත්ත හෙළිවෙයි - ගෙල සිර කර ඝාතනය කළැයි සහකරු අත්අඩංගුවට
කැනඩාවේ ඇල්බර්ටා පළාතේ එඩ්මන්ටන් නගරයේදී 23 හැවිරිදි ඉන්දීය තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ 22 හැවිරිදි සහකරු රිතිෂ් කුමාර්ට දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති බව එඩ්මන්ටන් පොලිසිය (EPS) නිවේදනය කර ඇත.
මියගොස් ඇත්තේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ලුධියානා දිස්ත්‍රික්කයේ සම්රාලා ප්‍රදේශයේ පදිංචි ඩමන්ප්‍රීත් කෞර් නමැති 23 හැවිරිදි තරුණියකි.
පොලිසියට අනුව, 2026 ජූලි 9 වැනිදා පස්වරු 6.44ට පමණ එඩ්මන්ටන්හි සිල්වර්බෙරි ප්‍රදේශයේ නිවසක තුවාල සහිතව සිහිසුන්ව සිටි කාන්තාවක් පිළිබඳ ලද දැනුම්දීමකට ප්‍රතිචාර දක්වා ඇත.
එහිදී වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බරපතළ තුවාල ලැබූ කෞර් රෝහල්ගත කළද, ජූලි 12 වැනිදා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ජූලි 14 දින එඩ්මන්ටන් වෛද්‍ය පරීක්ෂක කාර්යාලය එය මිනීමැරුමක් ලෙස තහවුරු කළේය.
පසුව ජූලි 23 දින පොලිසිය නිවේදනය කළේ, මරණයට හේතුව ගෙල සිර කිරීම බවයි.
ජූලි 22 දින රිතිෂ් කුමාර් අත්අඩංගුවට ගෙන දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති අතර, මෙම සිද්ධිය සමීප සහකරු සම්බන්ධ ඝාතනයක් ලෙස සලකන බවත්, මේ අවස්ථාවේ වෙනත් සැකකරුවන් සොයන්නේ නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.
මේ අතර, ඩමන්ප්‍රීත් කෞර්ගේ දේහය ඉන්දියාවට රැගෙන යාම සහ අවසන් කටයුතු සඳහා වැය වන වියදම් පියවා ගැනීම වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කිරීමේ (GoFundMe) වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.