රටට ව්‍යසනය ඇති කරන ජාවාරම්කරුවන්ට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිය අමතමින් ජනපති කියයි
දූෂණයට විරුද්ධ සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බවටයි.
ඔහු මේ බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් සඳහන් කළා.
ඒ, "දුෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක්. දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වනවා. දුෂණයට එරෙහි සටන භයානකයි. දුෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා."යනුවෙන්.
එසේම මත්ද්‍රව්‍ය සහ ඒ හා බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්තමානයේ ලෝකය නවතම ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නේ,
"ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහා ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරගෙන තිබෙනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහාප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීම ලෝක න්‍යාය පත්‍රයේ සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වල සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්තා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයනය කරන මධ්‍යස්ථාන බිහිකිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබේ අවධානයට යොමු කරනවා."
ඊට අමතරව පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගන්නා අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් නතර කිරීමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.