අලුත් අවුරුද්දේ ජනපතිගේ සුබ පණිවිඩය

Report

ජනාධිපති මෙරට ඉදිරි සියලු සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ රටේ උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

සාම්ප්‍රදායික වටිනාකම් සහ නවීන සංවර්ධන ඉලක්ක ඒකාබද්ධ කරමින් රටක් ලෙස ඉදිරියට යාමේ වැදගත්කම උන්වහන්සේ සිය පණිවිඩය මඟින් අවධාරණය කර ඇත.

ජාතීන් අතර සහජීවනය සහ සංස්කෘතික බැඳීම අලුත් අවුරුදු සමයේදී තවදුරටත් තහවුරු වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පොදු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් රජය කැපවී සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි. රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය. එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි.

අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි. පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි. දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු'යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා'යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි"

14 වන ලියෝ පාප්තුමාගේ දෙවන විදේශ සංචාරයට අප්‍රිකානු මහද්වීපයට

14 වන ලියෝ පාප්තුමාගේ දෙවන විදේශ සංචාරයට අප්‍රිකානු මහද්වීපයට