මෙරට මුහුදු සීමාවට ඉරාන නෞකාවලට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනපති කියයි

Report

 මෙරට මුහුදු සීමාවට ඉරාන නෞකාවලට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනාධිපතිවරයා අද  පාර්ලිමේන්තුවේදී සදහන් කරන ලදි.

ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් සදහන් කළේ පසුගිය පෙබරවාරි 26 වැනි දින මාර්තු 9-13 දිනවල මෙරට සහයෝගීතා වර්ධනය කිරීම සඳහා පැමිණීමට අවසර ඉල්ලූ බවත් ඒ සම්බන්ධව මෙරට විසින් අධ්‍යනයක නිරත වෙමින් සිටි බවයි.

ඉන්ධන මිල වැඩි වෙ‍යිද? ජනපතිගෙන් හෙළිදරව්වක්

ඉන්ධන මිල වැඩි වෙ‍යිද? ජනපතිගෙන් හෙළිදරව්වක්

ජනාධිපතිවරයා මේ සම්බන්දව තව දුරටත් දීර්ඝ ලෙස අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙන එන ලද අයට ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසා කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ. නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා.

අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ. පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය. අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා.

එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා. ඊට පස්සේ 27 වෙනිදා IRIS Bushehr කියන නෞකාවේ එක් නාවික සෙබළෙක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා එම නාවික සෙබළාත් ඔහු සමඟ නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා අපේ මධ්‍යස්ථභාවය ජාත්‍යන්තර බැඳීම තමයි ඒ වෙලාවේ සහායදීම. අපි ඒ නාවික නිලධාරියාත් නාවික සෙබළාත් 27 පෙබරවාරි රැගෙන එම නෞකාවට සැපයීම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින්. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් අපි පැමිණ තිබෙන එකඟතාවය. ඊට පස්සේ නැවත 4 වැනිදා අපිට වාර්තා වුණා. අපේ ආර්ථික කලාප සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව මොකක්ද අපේ බැඳීම. අපිට ඕනේ නම් අහක බලාගෙන ඉන්න තිබුණා. අපේ මුහුදු කලාපයේ නොවේ ආර්ථික කලාපයේ. ආර්ථික කාලපයේ ගහගන්නත් පුළුවන්. නැව්වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. අපේ මුහුදු සීමාව නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කළා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්වල තියෙනවා එවැනි පිපිරීමක් වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතු ද.? එය රළ හමන දිශාව අනුව කොච්චරක් දුර අවේක්ෂණය කළ යුතු ද කියලා. අපි ඒ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කළා. ප්‍රහාරයක් සිද්ධ වුණාම ජීවිත සහ මළ සිරුරු ගළවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තියෙනවා. ඒ මුළු දුරම ගියා. ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළසිරුරු 84ක් අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. මේක අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ. ඒ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කළා. ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩාවැටීමක් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපේ කොළඹ වරයාට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙතැන බොහෝ අය කිව්වා, පැය 11කට කලින් ගියා නම්.. කොහෙද පැය 11කට වැඩි වෙලාවක්. පළමු ඉල්ලීම ආවේ, පෙබරවාරි 26 වෙනිදා ඉල්ලීම ආවේ මාර්තු 9 එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පටලගෙන ද දන්නේ නෑ. පළවෙනි නෞකාවට ප්‍රහාරය එල්ල කළාම තමයි අපෙන් ඉල්ලීමක් කළේ දෙවෙනි නෞකාව එහෙත් එංජින් ආබාධයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ගමන් කරන්න බැහැ. අපේ කොළඹ වරයාට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකක්ද ජාත්‍යන්තර නීතිය ඔවුන් අපේ මුහුදුසීමාවට ඇතුළු වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්නට දෙන්න පුළුවන්කම තියෙන්නේ, පැය 24යි. පැය 24න් පසුව ඔවුන් යා යුතුයි. අපිට එහෙම තියාගන්න බැහැ. එහෙම තියාගන්නවා නම් ඒකේ තේරුම මොකක්ද.? යම් යුද ගැටුමක් තිබෙනවා.

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

යම් කණ්ඩායමක් අනතුරට මුහුණදීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්න කණ්ඩායම අපි බේරගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒ කියන්නේ අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවානේ. ඒ නිසා අපිට උපරිම තියාගන්න පුළුවන් කාලය පැය 24යි. ඊට පසුව හරවා යැවිය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එතකොට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කළේ අපේ මධ්‍යස්ථභාවය මත. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපේ භාරයට එන්න කිව්වේ. අපේ භාරයට ආවයින් පස්සේ අපි කිව්වා සම්පූර්ණ කාර්ය මණ්ඩලය බහින්න ඕනේ කියලා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා කාර්ය මණ්ඩලය රැඳෙන්න ඕනේ කියලා. අපේ ඒකේ හිටිය නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට අරන් ආවා. අපි මේ 206ම එකට තියලා නැහැ. සොල්දාදුවන් ආතතීයකට මුහුණදීලා තියෙනවා. කවර ආකාර තත්ත්වයක් වර්ධනය විය හැකි ද.? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන දුන්නා. මෑතකදී කෙනෙක් රෝගාබාධයකට ලක් වුණා. ඔහු අපි වැලිසර නාවික හමුදා රෝහලට පිටත්කර හැරියා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව රැකබලාගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනයවීම. අනතුරුව ඔවුන් ඉල්ලා සිටියා ඔවුන්ගේ මළසිරුරු රටට රැගෙන යාමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබාදුන්නා. පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා ඔවුන්ගේ මළසිරුරු අරන් ගියා. තුවාල වුණ 32ක් කරාපිටිය රෝහලේ හිටියා. ඔවුන් සියලු දෙනා සුවය ලැබුවයින් පස්සේ ඒ ආසන්නයේ තියෙන කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැඳිසිටිනවා. ඒ නිසා අපේ ජාත්‍යන්තර යුද්ධයේදී අපේ ප්‍රතිපත්තියට හැමවිටම මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම.

ඒ වගේම පහුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කවුන්සිලයට යෝජනාවක් ආවා. මේ ප්‍රහාරයන් පිළිබඳව. බොහෝ රාජ්‍යයන් ඒකට සමදායකත්වය ලබාදී තිබුණා. අපි ලබාදුන්නේ නැහැ. අපි ලබා නොදුන්නේ, ඒ යෝජනාව අඩයි සත්‍යය. රටවල් 130ක් එම යෝජනාවට සහයෝගීතාව පළ කරලා තිබුණා. අපේ පළ කළේ නැහැ. අපි එහෙම නොකළේ ඒ යෝජනාව අඩක් අසත්‍යයි. අපි හැමවිටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය අපි ජාත්‍යන්තර වේදිකාවට ගෙනියනවා. ඒ අනුව අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මා කියන්නේ හැමවිටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දු තීරණ, අපේ සම්මුතීන් මේ සියල්ලේදී අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් අපි කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමිය අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත් ආරක්ෂා කරගැනීම සඳහා තියෙන ක්‍රමවේදය. කිසිසේත්ම වචනයකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. පාර්ලිමේන්තුවෙත් පැය 11කට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුණා වගේ බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අනිත් හැම ප්‍රශ්නයක්ම. ඩීසල්, ආහාර ප්‍රශ්න තියෙනවා.

මේවා අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. හැබැයි මෙවැනි ප්‍රශ්නයේදී ලෝකය කැලඹෙමින් තියෙන වෙලාවක අපි සත්‍ය කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. අසත්‍ය චෝදනා කිරීමෙන් මොනවාද කරන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුව මඟහැරීම නිසා තමයි පළමු නෞකාව බිලි වු‌ණේ කියලා මතයක් හදනවා. ඒක සහසිකයි. ඒක අමානුෂිකයි. ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තොත්, අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. මට කියන ඒවා, අපේ අගමැතිතුමියට කියන ඒවා අපි පිළිගන්නේවත් නැහැ හොඳේ. මේ ප්‍රශ්නයේදී තමන් වහන්සේලා මීට වඩා වගකීමෙන් කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේක තමයි සත්‍යය. එක්සත් ජනපදයේ ගුවන්යානා දෙක අපෙන් ඉල්ලා සිටියේ 04 සහ 08 යන දෙදින තුළ මත්තල රඳවා තබන්න. ඔවුන් සතුව නෞකා නාශක මිසයිල 8ක් එම ගුවන් යානාවල පියාපත්වල එල්ලා ඇති බව සඳහන් කර තිබුණා. අපේ එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමට එළැඹිලා තිබෙන නිසා අපිට මේ යුද්ධයේ පාර්ශ්වකරුවෝවීම වළක්වන්න බැහැ කියලා. ඒක අසත්‍යයි. අපි ඇවිත් තියෙන එකඟතාවල කිසිසේත්ම මෙවැනි යුද්ධයකදීම හවුල්කාරයෙක්වීම පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. අපි අතර යම් සම්මුතීන් තිබෙනවා. යම් අවබෝධතාවයන් අත්සන් කරලා තියෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රීත ක්‍රියාකාරකම් සේවා, නඩත්තු හා සම්බන්ධ පුහුණු වැඩසටහන්.

සමුද්‍රීය බලප්‍රදේශවල දැනුවත්භාවය. මේවා තමයි සහයෝගීතා ගිවිසුමේ තියෙන කරුණු. සයිබර් ආරක්ෂාව සහ සුරක්ෂිත සන්නිවේදනය තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒ සඳහා විශාල පහසුකම් සහ විශාල පුහුණුවීම් එක්සත් ජනපදය විසින් අපට ලබා දෙනවා. මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාර. ඒ අනුව තමයි C-113 ගුවන් යානා දෙකක් දිට්වාවලදී ආවේ. යුද්ධයකදී අපි කවර පාර්ශ්වය ද ගන්නේ කියන එක අවබෝධතා ගිවිසුම්වල නැහැ. "