උතුරු මැද විශාලතම ජලාශය ගැන ජනපතිගෙන් තීරණයක් - පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කරයි
රජරට මහා වාරි පද්ධතියට එක්වීමට නියමිත පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මීට වසර 10කට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය විවිධ හේතු මත අතරමග නතරව තිබූ අතර, වත්මන් රජය යටතේ එය යළි ආරම්භ කර 2026 වසර සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.
සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මතුව ඇති ගැටලු නිරාකරණය කරමින් කඩිනම් කර ඇති අතර, එය 2029 වසරේ අගභාගය වනවිට අවසන් කිරීමට නියමිතය.
අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්ක යා කරමින් තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයේදී මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන පහළ මල්වතුඔය ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 169,400කි. ව්‍යාපෘතිය අවසන් වූ පසු එය උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වනු ඇත.
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතා සපුරාලීම, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, ගංවතුර පාලනය, ජල විදුලි උත්පාදනය, තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන කලාපයක් ඇති කිරීම මෙන්ම සංචාරක හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ පවතින සහල් නැළිය ප්‍රදේශයේ මහ කන්නයේදී අක්කර 40,000ක් පමණ වගා කළද, යල කන්නයේදී ජල හිඟය හේතුවෙන් වගා කළ හැක්කේ අක්කර 10,000කට පමණි.
පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමෙන් පසු යල සහ මහ කන්න දෙකේදීම අක්කර 40,000ක් වගා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ව්‍යාපෘති නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, අභියෝග සහ අවශ්‍යතා පිළිබඳව විමසා බැලූ අතර, ව්‍යාපෘතිය කඩිනමින් නිමකර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315ක් සඳහා ඉඩම් සහ විදුලිය හා පානීය ජල පහසුකම් සහිත නිවාස ලබාදීමටත්, එම ඉඩම්වල සූර්ය බලයෙන් ක්‍රියාත්මක උස්සන වාරිමාර්ග පද්ධති හරහා සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා යොමු කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
කිලෝමීටර් 3.4ක දිගකින් යුත් ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වනවිට සියයට 60ක් පමණ අවසන් කර ඇති අතර, දකුණු ඉවුරු සොරොව්වේ ව්‍යුහාත්මක කොටස්ද නිමකර තිබේ. ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන විදුලි බලාගාරයේ අත්තිවාරම් කැපීම සහ කළුගල් පිපිරවීම ඇතුළු මූලික කටයුතුද ආරම්භ කර ඇත.
මීට අමතරව අලි වැට ඉදිකිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සහ පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම ඇතුළු කටයුතුද ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති සහ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේද වැඩම කර සිටියහ.
ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ උන්වහන්සේ, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාද පළ කළහ.