ලෝකේ දුප්පත්ම ජනාධිපති ගැන දැනන් හිටියද? ජීවත් වෙලා තියෙන්නේ ගොවිපළක...(PHOTO)
උරුගුවායි හි හිටපු ජනාධිපති හෝසේ මුජිකා එහෙමත් නැත්තම් ලෝකෙ හිටපු දුප්පත්ම ජනාධිපති පසුගිය දවසක මෙලොව හැරයනවා.
ඒ ඔහුගේ අවුරුදු 90ක ජීවිත ගමනට සමු දීලා. ඔහුගේ සමුගැනීම ඔහුට ආදරය කළ ජනතාවට දැඩි වියෝවක් ගෙන දී තිබෙනවා.
හෝසේ මුජිකා ලෝකෙ ප්‍රසිද්ධ වෙන්නේ ඔහු උරුගුවායි හි හිටපු ජනාධිපතිවරයා නිසා නම් නොවේ.
ඒ ඔහු තරම් සරල ජීවන රටාවක් ගත කළ ජනාධිපතිවරයෙක් ලොව තවත් සොයා ගත නොමැති නිසයි.
හෝසේ මුජිකා 2010 සිට 2015 දක්වා උරුගුවායි රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා වශයෙන් සේවය කර තිබෙනවා.
එසේම ඔහු උපත ලබා තිබුණේ 1935 වර්ෂයේදීයී. තරුණ වියේදී ගරිල්ලා භටයෙකු ලෙස ක්‍රියා කළ මුජිකා 1994 වර්ෂයේදි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු 2010 වර්ෂයේදී රටේ ජනාධිපති වෙනවා.
ඔහු පසු කලෙක ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුවත් සෙනෙට් සභිකයෙක් වශයෙන් 2020 වසර දක්වා මහජන සේවය දිගටම කරගෙන ගිය බව පවසනවා.
ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලැබුණු අමෙරිකානු ඩොලර් 12,000ක මාසික වැටුපෙන්, මුජිකා 10% ක් පමණක් තමන්ගේ පෞද්ගලික පරිභෝජනයට තබා ගෙන ඉතිරි 90% ම ජනතා සේවයට පරිත්‍යාග කරපු පුද්ගලයෙක්.
ඔහු තම බිරිඳ වූ ලුසියා ටොපොලොන්ස්කි සමඟ ගම්බද ප්‍රදේශයක පිහිටි ගොවිපළක කුඩා නිවසක ජීවත් වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ ලුසියා ටොපොලොන්ස්කිත් හිටපු ගරිල්ලා සාමාජිකාවක්. එසේම ඇය 2017-2020 කාලය තුළ උරුගුවායි හි උප ජනාධිපති ධුරය ද හොබවා ඇත.
වෙනත් රාජ්‍ය නායකයින් ආරක්ෂක රථ පෙළපාළි සමඟ සුපිරි වාහනවල ගමන් කරන විට මුජිකා තමන්ගේ රාජකාරි කටයුතුවලට පාවිච්චි කළේ 1987 වසරේ නිෂ්පාදිත වොක්ස්වැගන් බීටල් රථයක්.
ඒකත් කිසිම ආරක්ෂක රථ පෙළපාළියක් නැතුව ඔහුම පදවාගෙන ගිහින්.
මුජිකාගේ මේ සුවිශේෂී ජීවන රටාව ගැන අහපු අරාබි ෂෙයික්වරයෙක්, ඔහුගේ වොක්ස්වැගන් රථය වෙනුවෙන් ඩොලර් මිලියනයක් හෝ සුඛෝපභෝගී ඩබල් කැබ් රථ 10ක් ලබාදීමට ඉදිරිපත් වී තිබුණා.
එහෙත් ඒ ගනුදෙනුව සිදු වූ බවට පැහැදිලි සඳහනක් නැහැ. නමුත් මුජිකා එවැනි ගනුදෙනුවක් සිදුවුවහොත්, ඉන් ලැබෙන ප්‍රතිලාභ පරිහරණය නොකර ජනතා සේවයට වැය කරන බව පවසා තිබුණා.
මුජිකාගේ ප්‍රධාන වත්කම වූණේ ඔහු ජීවත් වූ ගොවිපළ ඉඩමයි.
ඒ වගේම ඔහුගේ මුළු වත්කම ලෙස වාර්තා වෙන්නේ ඩොලර් 322,000ක්. "පෙපේ" කියන ආදරණීය නමින් ප්‍රසිද්ධ වුණ මුජිකා ජීවිතයෙන් සමු ගන්න කළින් මුළු ලෝකෙටම ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා.
ඒ ඔබට ජනතාව අතර චරිතයක් ලෙස ජීවත් වීමට මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් සරල බව පමණක් ප්‍රමාණවත් යන්නයි.
වර්තමාන රටේ ලෝකේ දේශපාලනය තුළ නිරන්තරයෙන්ම අපිට දක්නට ලැබෙන්නේ ධනයට සහ බලයට කෑදරව, දූෂණයෙන් සහ වංචාවෙන් ජනතාව පීඩාවට පත් කරන නායකයින්.
එවන් ලොවක හෝසේ මුජිකාගේ කියන්නේ මඩ ගොහුරක පිපි නෙළුමක් බව ඔහුට ආදරය කරන ජනතාව විශ්වාස කරනවා.








