විදෙස් රැකියා වංචා දැන් පොලිස් කණුවට - විශේෂ ඒකකයක් පිහිටවෙයි
විදේශ රැකියා සම්බන්ධ පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ප්‍රධාන කාර්යාලයේදී පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කර ඇත.
ඊයේ (18) ආරම්භ වූ මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් නායකත්වය ලබන පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කර තිබේ.
1985දී 'විදේශ රැකියා නියාමන අධිකාරිය' යන පදනම මත ස්ථාපිත මෙම ආයතනයේ ප්‍රධාන කාර්යය වන්නේ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගේ පැමිණිලිවලට සාර්ථකව සහ කඩිනමින් විසඳුම් ලබාදීමයි.
මෙම අවස්ථාවට සහභාගී වූ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ, විදේශ රැකියා වංචාවන් වැළැක්වීම සහ පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබාදීමෙන් විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටුවන බවත්, නව රජය බලයට පත්වීමෙන් පසු කඩිනමින් මෙය ස්ථාපනය කිරීමට හැකි වූ බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
"මම හිතන්නේ පසුගිය කාලවකවානු තුළ ගත්තොත් ලැබෙන පැමිණිලිත් වැඩිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විදේශ රැකියා වංචා කරන පාර්ශවය ගත්තොත් එහෙම ඉතාමත් සීඝ්‍රයෙන් එයාලා එක එක උපක්‍රමශීලීත්වය පාවිච්චි කරනවා. යම්කිසි ආකාරයෙන් පරිණාමනය වෙන කාණ්ඩායමක් තමයි මේ වංචාවලට එකතු වෙලා ඉන්නේ. ඇතැම් කණඩායම් කාර්යාංශයේ ලියාපදිංචි නොවු ඒජන්සි ආයතන විදියට වංචා කරනවා. තව සුලු පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි විදියට වංචා කරනවා. දැන් අපි දකින්නේ ඒක විතරක් නෙමෙයි විසිට් වීසා ආකාරයට, එවගේම උපදෙස් දෙන ආයතන ලෙස මුවා වෙලා යම්කිසි ආකාරයෙන් කටයුතු කරන ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයෙන් උපක්‍රම පාවිච්චි කර වංචා කරනවා. ඒ නිසා ඒවාට හසුවන අය පැමිණිලි කරනවා"
එසේම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නම් නව පනතක් ලෙස හෝ විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.