සමාජ මාධ්‍ය කැළඹූ 8 හැවිරිදි දරුවාගේ "කාර් ගිනි තැබීමේ" වීඩියෝවේ ඇතුළාන්තය පොලිසිය හෙළි කරයි
පාසලක අට හැවිරිදි සිසුවෙකු මෝටර් රථයකට ගිනි තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිල පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවලදී එම චෝදනාව තහවුරු කරන කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවයි.
පොලිස් නිවේදනයට අනුව, ජූලි 3 වන දින කුරුණෑගල ප්‍රදේශයේ පාසල් පරිශ්‍රයක් තුළ නවතා තිබූ රුපියල් මිලියන 14කට ආසන්න වටිනාකමකින් යුත් මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.
එම ගින්න සඳහා අට හැවිරිදි සිසුවෙකු වගකිව යුතු බවට ලැබුණු පැමිණිල්ලක් මත කුරුණෑගල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ දැක්වෙන දරුවා අදාළ පාසලේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවෙකු බවත්, සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඔහු වාහනය අසලින් ගමන් කරමින් සිට ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඇසින් දුටු සාක්ෂි, විද්‍යාත්මක හෝ අධිකරණ වෛද්‍ය සාක්ෂි කිසිවක් මේ දක්වා දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු නොකරන බව පොලිසිය අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
ගින්නට සැබෑ හේතුව නිශ්චය කිරීම සඳහා විශේෂඥ පරීක්ෂණ පැවැත්වීමේ වගකීම රජයේ රස පරීක්ෂකවරයා වෙත පවරා ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
එබැවින් නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.