සහනාධාර ගෝරිය ගැන සමාජ මාධ්‍ය කළඹන වීඩියෝව නිසා පොලීසිය කළකිරෙයි - පැහැදිලි කිරීමක්
මේ දිනවල මන්දාරම්නුවර ප්‍රදේශයේ සහනාධාර බෙදාදීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී එම ප්‍රදේශයේ ජනතාව විසින් මන්දාරම්නුවර පොලිසියට විරෝධය එල්ල කරන බවට සඳහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වන බව වාර්තා වේ.
අඳාළ සිදුවීම සම්බන්ධව ස්ථානාධිපති මන්දාරම්නුවර මඟින් වාර්තාවක් කැඳවීමට කටයුතු කළ අතර එම වාර්තාව අනුව පහත කරුණු පැහැදිලි කිරීම සිදු කර ඇත.
ඉකුත්දා රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මන්දාරම්නුවර පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නායයාමට ලක් වීම නිසා එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සුරක්ෂිත කඳවුරුවල ස්ථානගත කර තිබෙනවා. එහිදී ආපදා තත්ත්වයට පත්වූ මහජනතාවට ලබාදෙන සහනාධාර මහා මාර්ගයේ ප්‍රවාහනය කිරීමට නොහැකි හෙයින් ගුවන් යානා මඟින් රැගෙන ඒමට කටයුතු කර ඇත. එලෙස රැගෙන එන භාණ්ඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් භාර ගැනීමෙන් අනතුරුව බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇත. ගුවන්යානා ගොඩ බෑමේදී එහි ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව සඳහා මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇත. එහිදී භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසියේ මැදිහත්වීමක් සිදු නොවුණු බවට ස්ථානාධිපති විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර 2025.12.07 වන දින මන්දාරම්නුවර පොලිසිය අවට පදිංචි පවුල් 50 ක පමණ පුද්ගලයින් 150 ක 200 ක පමණ පිරිසක් විසින් ගුවන් මඟින් රැගෙන එන ලද ද්‍රව්‍ය ග්‍රාම නිලධාරීන් හට භාරගැනීමට ඉඩ නොදී පාසලක ගබඩා කර ඉබියතුරු දමා තිබෙනවා. එහිදී සාමය කඩවීමක් සිදු නොවීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙන අතර, මන්දාරම්නුවර ස්ථානාධිපති විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කර පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට කටයුතු කර තිබෙන අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිසක් පොලිසිය අප්‍රසාදයට ලක්වන ආකාරයට කෑ කෝ ගසමින් එම අවස්ථාවන් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැරීමට කටයුතු කර ඇති බවට දන්වා තිබෙනවා. මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලයේ ස්ථාපිත කර ඇති සේවා පියස හා මන්දාරම්නුවර පොලිස් ස්ථානය එකම භූමියක තේ කම්හලක් ඉදිරිපස කොටසේ පිහිටා ඇති බවත්, මෙම සිද්ධිය සිදු වූ විට කළහකාරීව හැසිරුණු පිරිස කිසිදු අවස්ථාවක පොලිස් ස්ථානයට ඇතුළුවීමක් සිදු වී නොමැති බවත් ස්ථානාධිපති මන්දාරම්නුවර විසින් වාර්තා කර තිබෙනවා. එහෙත් මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලය හා පොලිස් ස්ථානය එකම භූමියක පිහිටා ඇති බැවින් පොලිස් ස්ථානය මහජනතාව වැටලූ බවට වැරදි අදහසක් ඇතිවීමට සහ එවැන්නක් හුවා දැක්වීමට මෙවැනි වීඩියෝ මඟින් අවස්ථාව සැලසෙන බව ද නිරීක්ෂණය වී තිබෙනවා. මෙරට තුළ උද්ගත වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ පැය 24 පුරාම මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම මහජනයාගේ සුබසාධනය උදෙසා කැපවීමෙන් කටයුතු කළ සහ මේ වන විටත් එම කටයුතු සිදු කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිරූපය කෙරෙහි වැරදි මතයක් සමාජගතවීමක් මෙමඟින් සිදුවන බව කණාගාටුවෙන් සඳහන් කරයි.