“දඩයක්කරුවන් ජාතික උද්‍යානයේදී අලි රංචුවකට හසුවී ඛේදනීය ඉරණමකට මුහුණ දෙයි” - දකුණු අප්‍රිකාවේ සිදුවූ බිහිසුණු සිද්ධියක්
දකුණු අප්‍රිකාවේ ක්රූගර් ජාතික උද්‍යානයේදී නීතිවිරෝධී ලෙස ඇතුළු වී සතුන් දඩයම් කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අලි රංචුවකට මුහුණදීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු ජාතික උද්‍යාන ආයතනය (SANParks) සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනෙකු පසුගිය සැප්තැම්බර් 11 වැනිදා පෆුරි ප්‍රදේශයෙන් ක්රූගර් ජාතික උද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බවට සැප්තැම්බර් 12 වැනිදා තොරතුරු ලැබුණු බවයි.
උද්‍යානය තුළදී ඔවුන් අලි රංචුවකට මුහුණ දී ඇති අතර, බියට පත්වූ සැකකරුවන් දෙදෙනා වෙන වෙනම දිශාවලට පලා ගොස් එකිනෙකාගෙන් වෙන් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එක් සැකකරුවෙකු පසුව සිය නිවසට පැමිණ ඇති අතර, තම සහකරු අතුරුදන් වී ඇති බවත්, සිදුවීම අතරතුර ඔහු කෑගසනු ඇසුණු බවත් පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පොලිස් සේවයට (SAPS) දැනුම් දීමෙන් අනතුරුව, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු උද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බව පිළිගෙන ඇති අතර, සිද්ධිය සිදුවූ බවට සැක කෙරෙන ප්‍රදේශයට SANParks නිලධාරීන් සමඟ ගොස් තිබේ.
කිලෝමීටර් 6ක් පමණ සෝදිසි මෙහෙයුමක් පසුව SANParks නිලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ලුවුවු ගඟ ආසන්නයෙන් හමුවූ පා සලකුණු ඔස්සේ කිලෝමීටර් හයක පමණ දුරක් ගමන් කළ රේන්ජර්වරුන්ට අවසානයේදී අතුරුදන් වූ බවට සැක කෙරුණු පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත. එම සෝදිසියේදී නීතිවිරෝධී ලෙස දඩයම් කර ඇති බවට සැක කෙරෙන මී ගවයෙකුගේ අවශේෂ ද සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, පුද්ගලයාගේ මරණයට නිශ්චිතවම හේතුවූ සිදුවීම් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. දකුණු අප්‍රිකානු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය ක්‍රියාවලිය ඇතුළු විමර්ශන සිදුකරමින් සිටී.
ක්රූගර් ජාතික උද්‍යානය අප්‍රිකාවේ විශාලතම වනජීවී රක්ෂිත අතරින් එකක් වන අතර, අප්‍රිකාවේ ප්‍රධාන වන සතුන් ලෙස සැලකෙන මී ගවයා, අලියා, රයිනෝ, දිවියා සහ සිංහයා ඇතුළු සතුන් රැසකට එය වාසස්ථානය සපයයි.