රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවලට තිරසාර විසඳුම් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
එම ගැටලු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් 2026 ජුනි 22 දිනැති අංක 2494/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පත් කළ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, නව තාක්ෂණික හා ගෝලීය ප්රවණතාවලට අනුකූලව අනාගත අවශ්‍යතා හඳුනා ගැනීම සහ පුරවැසි කේන්ද්‍රීය, ආචාරධර්මානුකූල හා වගකීම් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය උපායමාර්ග ඉදිරිපත් කිරීම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම් අතර වන බවද ඇය පැවසුවාය. අදාළ ගැසට් නිවේදනයට අනුව, කොමිෂන් සභාව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව වසරක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා වෘත්තීය සමිති, විවිධ සංවිධාන සහ මහජනතාවගෙන් යෝජනා, අදහස් හා ඉල්ලීම් මේ වන විටත් ලැබෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එම යෝජනා අධ්‍යයනය කරමින් ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ කාර්තුමය වාර්තාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අතර, 2026 සැප්තැම්බර් 18 වනදා වන විට කොමිෂන් සභාව වෙනුවෙන් නඩත්තු සේවා සහ වත්කම් මිලදී ගැනීම සඳහා කිසිදු වියදමක් සිදුකර නොමැති බවද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.
එමෙන්ම, එදින වන විට කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සඳහාද කිසිදු මුදලක් වැය කර නොතිබූ බව ඇය සඳහන් කළාය. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් මාසයේ වැටුප් ගෙවීමේදී කොමිෂන් සභාවේ නිලධාරීන් සිව්දෙනෙකු සඳහා වැටුප් හා දීමනා ලෙස දළ වශයෙන් රුපියල් 508,988ක මුදලක් ගෙවීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.