හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව නඩුවක් කැදවයි
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කර තිබේ.
ඒ අනුව 2013 වසරේ සැප්තැම්බර් මස 21 වනදා සහ ඔක්තෝබර් මස 24 වැනිදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් සහ බලපෑම් කිරීම පිළිබද චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
තවද අමාත්‍යවරයා "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කර තිබේ.
කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ එම නඩුව කැඳවා තිබේ.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු 9 වනදා කැඳවන ලෙස දැනුම් දී ඇත.
තවද එහි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත .