පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

By Malith Madushan Oct 13, 2026 12:07 PM GMT
Report

2008 වසරේ මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් අන්නාතුරෙයි තෂ්ෂිණී මහත්මිය විසින් අද (13) මෙම නියෝගය ලබා දී ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම නඩුවට අදාළව සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන

2008 වසරේදී මඩකලපුවේ කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම සහ වවුනතීවු, කරෙයියක්කන්තීවු ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම සිද්ධීන්ට අදාළව පිල්ලෙයාන් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි තොරතුරුකරුවන් බව කියන මොහොමඩ් සිෆාන් හා මොහොමඩ් සකීද් යන අය 2025 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව 2026 ජූනි 17 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මේ අතර, දැනට ලන්ඩනයේ සිටින ‘පොලිස් පායිස්’ ලෙස හැඳින්වෙන මොහොමඩ් පායිස් නමැති සැකකරුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් දීර්ඝ කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට රැගෙන එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට රැගෙන එයි