බෙහෙත් තුණ්ඩු ගැන ඖෂධවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්
රෝගීන්ගේ බෙහෙත් තුණ්ඩුව ලියවිය යුතු ආකාරය පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව කියා තිබුණද, එම නිර්දේශ නොතකා වෛද්‍යවරුන් අපැහැදිලි අත්අකුරින් ඖෂධ වර්ග ලියන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා චෝදනා කරයි.
ඒ අනුව වෛද්‍යවරුන් අපැහැදිලි අත්අකුරෙන් බෙහෙත් තුණ්ඩු ලිවීම රෝගී ජීවිත අවදානමේ හෙළීමක් බවට ඔහු පෙන්වා දෙයි.
එසේම සභාපතිවරයා අවධාරණය කරන්නේ වෛද්‍යවරුන්ගේ මේ නොසැලකිල්ල හේතුවෙන් ඖෂධවේදීන් දැඩි අපහසුතාවට පත්වන බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ,
‘‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015දී නිකුත් කළ නිර්දේශවල සඳහන් වෙනවා වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුව ලිවිය යුත්තේ ඖෂධීය නාමයෙන් කියලා. නමුත් බොහෝ වෛද්‍යවරුන් තවමත් ලියන්නේ බෙහෙත අයිති ආයතනයේ නමින්. මුලින්ම එය වෙනස් විය යුතුයි. දැන් දැන් ඖෂධ වර්ග රැසක් තිබෙනවා. ඒක නිසා වෛද්‍යවරුන් ලියන අපැහැදිලි අත්අකුරු නිසා බෙහෙත් වර්ගය තෝරා ගැනීම අපහසුයි. මේ ගැන වෛද්‍යවරුන් අවධානය යොමු කළ යුතුයි’’ යනුවෙන්.