ජනාධිපති හමුවීමට දරුවන් සමග ආව පුද්ගලයෙකු අත්අඩංගුවට... අතත් හපා කාලා...
ජාතික රණවිරු උත්සවයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. ඔහු සමඟ සිටි කුඩා දරු දෙදෙනාද ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් එම සැකකරු නුගේගොඩ දිස්ත්‍රිත් 2 සහකාර පොලිස් අධිකාරි ලසිත රංග අභය වික්‍රම මහතාව සහ පොලිස් කොස්තාපල්වරයකු සපා කෑමට ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
වැලි පැන්න, උතුම්ගම, දොඩම්පාපිටිය පාසල පාර පදිංචි සැකකරු වයස අවුරුදු 10 ක් පමණ වන දැරියක සහ වයස අවුරුදු 08 ක් පමණ වන දරුවකුද පාසල් නිල ඇඳුමෙන් සරසවාගෙන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ජාතික රණවිරු උත්සවයේ පිවිසුම් ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් තම ඉඩමට අදාළව පැමිණිලි 65 ක් පමණ යොමු කළත් වැලිපැන්න පොලිසියෙන් සාධාරණයක් නොවූ බව සඳහන් කරමින් පෝස්ටරයක් ප්‍රදර්ශනය කරමින් එහි රැඳී සිට ඇතැයි පොලිසිය කියා සිටියා.
අනතුරුව එම සැකකරු වැලි පැන්න පොලිසියෙන් සිදු වූ අසාධාරණය සම්බන්ධව දැන්වීමට ජනාධිපතිතුමා හමුවීමට අවශ්‍ය බවත් හමුවීමට ඉඩ නොදුන්නොත් දරුවන් දෙදෙනා සමඟ මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට පනින බවට පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව පොලිසිය පැවසුවා.
මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා හමු වීමට ඉඩ ලබා දිය නොහැකි බවත් වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා සිටියදී එම පුද්ගලයා කලහකාරී ලෙස එම ස්ථානයේ හැසිරි ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමේදී ඔහු නැවත කලහකාරී ලෙස හැසිරි සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ අත් සපාතා ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතඉදිරිපත් කර මානසික වාර්තාවක් ගැනීම සඳහා රැගෙන ගිය ද සැකකරු ඊට විරෝධය දක්වා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියා. සැකකරු සහ දරු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
