පාර්ලිමේන්තුවේ නිලධාරිනියන්ට වෙච්චි අඬන්තේට්ටම් ගැන කට උත්තර දෙයි
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇති බව කියන අඬන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව මඟින් එහි තවත් සේවක සහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා දින ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන තිබෙනවා.
ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ විමර්ශන කටයුතු මේ සතියේදී අවසන් වීමට නියමිත බව සඳහන්.
එසේම පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එය අවසන් වීමෙන් අනතුරුව එහි වාර්තාව බොහෝ දුරට සති දෙකක් ඇතුළත කථානායකවරයාට භාර දෙනු ඇති බවයි.
ඒ අනුව බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතීඥ හංස අබේරත්ත යන මහත්ම මහත්මින්ගෙන්ද ඉකුත්දා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
එසේ එම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ පරිපාලනයට අඳාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට බව දැනගන්නට ලැබී තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ බුද්ධික නවගමුව, චමින්ද විල්ලෝරාරච්චි, නරේන්ද්‍ර ලක්මහල් සහ දමින්ද වික්‍රමරත්න යන ප්‍රධානීන්ගෙන්ද පැමිණිලිකාර නිලධාරිනියගෙන්ද හිටපු පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද මීට ප්‍රථම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහනා ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් කථා නායකවරයාට ස්තුතිය පුද කර ඇති බව සඳහන්.