පාකිස්තානයේ රජයේ පාසල් 15,000ක් පෞද්ගලික අංශයට
පාකිස්තානයේ රජයේ පාසල් පද්ධතිය පුද්ගලික අංශයට පවරා දීමේ ප්‍රතිපත්තියට එරෙහිව ගුරු සංගම්, අධ්‍යාපනවේදීන් සහ විශ්‍රාමික ගුරු සංවිධාන දැඩි විරෝධය පළ කර තිබේ.
රාවල්පින්ඩිහි පැවති මාධ්‍ය හමුවකදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ, රජය විසින් රජයේ පාසල් දහස් ගණනක් පෞද්ගලික ආයතන වෙත පවරා දීම පොදු අධ්‍යාපන පද්ධතියට බරපතළ බලපෑමක් එල්ල කරන බවයි.
ඔවුන් සඳහන් කළේ පසුගිය කාලය තුළ රජයේ පාසල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික පරිපාලනයට භාරදී ඇති බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් ස්ථිර ගුරු පත්වීම් 50,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී ඇති බවත්ය.
ගුරු සංගම් පෙන්වා දෙන්නේ, අත්දැකීම් සහිත ස්ථිර ගුරුවරුන් වෙනුවට අඩු වැටුප් ලබන තාවකාලික හෝ ගිවිසුම් පදනම් කරගත් සේවකයින් යොදවා ඇති අතර, එමඟින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල විය හැකි බවයි.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
තවද උපාධිධාරී සහ උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත ගුරුවරුන්ට මාසිකව ඉතා අඩු වැටුප් ගෙවන බවත්, එය රටේ නීත්‍යානුකූල අවම වැටුපටත් වඩා පහළ මට්ටමක පවතින බවත් ඔවුහු චෝදනා කරති.
පාසල් නිවාඩු කාලවලදී වැටුප් නොගෙවීම, පාසල් ප්‍රධානීන්ට පවා අඩු වැටුප් ලබාදීම සහ ගුරු වෘත්තියේ ගෞරවය හෑල්ලුවට ලක්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ද වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ අතර, රජය විසින් ක්‍රියාත්මක කරන “Schools of Eminence” අධ්‍යාපන වැඩසටහන ද ගුරු සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර, එය පොදු අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය තවදුරටත් වේගවත් කරන වැඩපිළිවෙළක් ලෙස ඔවුන් හඳුන්වා දෙයි.
ගුරු සංගම් අවධාරණය කරන්නේ, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොව මූලික ජන අයිතියක් වන බැවින්, රජය මෙම ප්‍රතිපත්ති යළි සමාලෝචනය කළ යුතු බවයි.