නායයාම් අවදානම් කලාපවල නිවාස 5,000කට අධිකයි - ජනතාව අතරමං වෙලා.. රජය නිහඬයි
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් දිවයින පුරා නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පිහිටා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව එහි අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා අනාවරණය කරයි.
මෙම පිරිසට ආරක්ෂිත ස්ථානවල නව නිවාස ඉදිකර ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඉදිරි සතියේදී මෙම දත්ත තවදුරටත් යාවත්කාලීන විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව නිසා දිවයිනේ විශාල ප්‍රමාණයේ නායයෑම් 1,200කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වැඩිම හානිය සිදුව ඇත්තේ මහනුවර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලය.
දිස්ත්‍රික්ක අනුව නායයෑම් සංඛ්‍යාව:
- මහනුවර: 363 - නුවරඑළිය: 219 - මාතලේ: 162 - කුරුණෑගල: 89 - කෑගල්ල: 79 - බදුල්ල: 312
මෙම නායයෑම් නිසා නිවාස අහිමි වූ පිරිස් දැනට සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත්, ඔවුන්ගේ භූමි පරීක්ෂා කිරීමට කණ්ඩායම් 50ක් යොදවා ඇති බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසීය. මෙම කණ්ඩායම්වල නිලධාරීන් 100කට අධික පිරිසක් සිටින අතර, මහනුවරට කණ්ඩායම් 15ක්, කෑගල්ලට 10ක් සහ බදුල්ලට 5ක් ඇතුළුව බෙදා හැර තිබේ.
පරීක්ෂණ සති දෙකක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, අවදානම් මට්ටම අනුව ජනතාව අධි, මධ්‍යම සහ මද අවදානම් ලෙස කාණ්ඩගත කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අධි අවදානම් කලාපය තවත් කොටස් තුනකට බෙදා ඇති අතර, එම කාණ්ඩ යටතේ සිටින සියලුම පිරිස් නිවාස අහිමි වූවන්, නිවාස ඉතිරිව තිබුණද වාසයට නුසුදුසු වූවන් සහ ඉදිරියේ නායයෑම් සිදුවිය හැකි භූමිවල සිටින පිරිස් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල නව නිවාස ලබාදීමට පියවර ගන්නා බව ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් සඳහා සුරක්ෂිත භූමි 20කට පමණ තම සංවිධානයේ නිර්දේශ ලබාදී ඇති බවත්, සියලු ඉල්ලීම් නිවැරදිව තක්සේරු කර නිර්දේශ ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.