මෙන්ඩිස් සමාගම රජයට අහිමි කළ වැට් ගෙවනවාද නැද්ද කියන්න නියෝගයක්
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතුව ඇති රුපියල් බිලියන 1.03කට අධික (රු. 1,035,473,988) වැට් බදු මුදල් යළි ගෙවා නිම කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන ජුනි මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (26) නියෝග කර තිබේ.
ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ එම මත්පැන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ජෝසප් ඇලෝසියස් සහ රන්දෙව් දිනේෂ් ජෝෂප් යන අයයි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ මහාධිකරණයේ පවතින වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් ඔවුන්ට අද දින පැමිණීමට නොහැකි වූ බවයි.