ඔලිම්පික් එකේ 5ක් රට යන්න ලක්ෂ ගානක් ගහලා
ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩල සාමාජිකයන් ලෙසින් කටයුතු කළ 7 දෙනකු ඇතුළු දස දෙනකු විසින් ඉකුත් වසර පහක කාලයකදී එම කමිටුව නියෝජනය කරමින් ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගීවීමේදී වියදම් සහ දෛනික දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 174කට අධික මුදලක් භාවිත කර ඇති බවට සඳහන් විශ්වසනීය තොරතුරු සහිත විගණන ලියැවිල්ලක් ‘අරුණ’ට ලැබී තිබේ.
මෙම මුදල් සම්භාරය අතුරින් රුපියල් ලක්ෂ 155කට ආසන්න මුදලක්, හිටපු විධායක මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු විසින් ලබාගෙන තිබීම එහිදී කැපී පෙනෙයි.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට අනුව එහි විධායක කමිටු සාමාජිකයන් හට දෛනික දීමනා ලබාගැනීම අනීතික ක්‍රියාවක් ලෙසින් දක්වා සිටියදී මොවුන් විසින් මෙලෙස මිලියන ගණනින් ඔලිම්පික් කමිටුවෙන් මුදල් ලබාගෙන තිබීම පැනයක් මතුකරවන්නක් බවට පත්ව තිබේ.
එසේම ඔවුන් විසින් මෙලෙස මුදල් ලබාගෙන ඇති සංචාර බොහොමයක ගුවන් ටිකට්පත්, ඉඳුම් හිටුම්, ආහාර පාන මෙන්ම එතෙර අභ්‍යන්තර ගමන් වියදම් පවා දරා ඇත්තේ එම ඉසව් සංවිධායකයන් හෝ මොවුන් ලබාගත් මෙකී මුදලට පරිභාහිරව ජාතික ඔලිම්පික් කමිටුව විසින් බවද මේ අතර කියැවේ. එසේම අදාළ මුල්‍ය කරුණු ඇතුළත් මෙම ලියැවිල්ල ජාතික ඔලිම්පික් කමිටුවේ ඉකුත් සමයේ බලය පැතිරූ හස්තයක බලපෑමෙන් ඉකුත් මාස 9ක පමණ කාලයක් පුරා යට ගසාගෙන තිබූ බවක් ද පැවැසේ.
ඒ අනුව 2018 වසරේ සිට 2023 වසර දක්වා කාලය අතරතුර ආසියානු ක්‍රීඩා උළෙල, ඔලිම්පික් උළෙල, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සහ විදෙස් රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි සඳහන් වන අතර (මේ වන විට දූෂණ චෝදනා ලබා තහනමට ලක්ව සිටින) හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ වින්ග් කමාන්ඩර් (විශ්‍රාමික) චන්දන ලියනගේ ද ඉකුත් සමයේ ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීරණවලින් පසු ඉල්ලා අස්වූ ගාමිණී ජයසිංහ සහ සුරංජිත් ප්‍රේමදාස ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් තහනමට ලක්කිරීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉවත් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු ද හිටපු විධායක කමිටු සමාජිකයකු වූ නිශාන්ත පියසේන ද යන අයගේ නම් එකී දීමනා ලාභීන්ගේ ලැයිස්තුවේ වේ.
අදාළ වාර්තාවට අනුව තහනමට ලක්වූ හිටපු ලේකම්වරයා වන මැක්ස්වෙල් ද සිල්වා මෙලෙස රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් (රුපියල් 4,911,001), ගාමිණී ජයසිංහ රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් (රුපියල් 3,907,161), දම්පත් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් (රුපියල් 3,030,236), චන්දන ලියනගේ රුපියල් ලක්ෂ විසි එකකට අධික මුදලක් (රුපියල් 2,157,202) මෙලෙස ලබාගනිද්දී නිශාන්ත පියසේන රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් (රු.1,672,621) ලබාගෙන තිබේ. එයට අමතරව විධායක කමිටු සාමජිකයකු නොවන ‘කූරගම’ නමැති නමක්ද එකී වැය සටහනේ දැක්වෙන අතර එම පුද්ගලයාට රුපියල් ලක්ෂ දොළහකට අධික (රු. 1,265,550) මුදලක් ලබාදී ඇති බව එහි සඳහන් වේ.
මෙම වියදම් සටහන පරිදි, හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා නමින් 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නවාතැන් වෙනුවෙන් යැයි රුපියල් තිස් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් සටහන්ව තිබීම කැපී පෙනෙයි.
