මුහුදේ තෙල් නෞකාවක් ගිනි ගනී - රුසියාවේ සෝචි වෙරළ තීරයටත් විශාල දුමාරයක්
රුසියාවේ සෝචි වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තෙල් ප්‍රවාහන නෞකාවක විශාල ගින්නක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් නෞකාවෙන් ඝන දුමාරයක් නිකුත් වන අතර, එය සෝචි වෙරළ තීරයේ සිට ඉතා ඈතට පවා දර්ශනය වන බව සඳහන් වේ.
ඇසින් දුටුවන්ගේ තොරතුරුවලට අනුව, ගිනිගත් නෞකාව සෝචි වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ පිහිටා තිබේ. මූලික වාර්තාවලට අනුව, එය තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් වන අතර, ගිනිගන්නා සුළු ද්‍රව්‍යයක් කාන්දු වීමක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ වී තිබේ.
එම කාන්දුව හේතුවෙන් නෞකාව අවට මුහුදු මතුපිටටද ගින්න පැතිර ගොස් ඇති බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියගොස් හෝ තුවාල ලබා තිබේද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ගින්නට හේතුව සම්බන්ධයෙන්ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.