බරපතළ ප්‍රශ්නයක් - පස් කන්දකට යටවී තිබූ මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ගිය නිලධාරීන්ට ගුටි
ආපදාවට ලක්ව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භාරදීමට යෑමේදී හදිසි මරණ පරීක්ෂකවරුන් මහජනතාවගෙන් පහරකෑමට ලක්වන තත්ත්වයට පත්ව ඇති බව හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය ඇතිව ඇත්තේ පස්කඳු කඩා වැටීම හෝ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට මරණ පරීක්ෂණයකින් තොරව ලබාදිය හැකි චක්‍රලේඛයක් අධිකරණ අමාත්‍යාංශය මඟින් නිකුත් නොකිරීම නිසා බව සඳහන්.
එසේම ඔහු කියා ඇත්තේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය බවට මළසිරුරු භාරදී යම් කාලයක් ගතවූ පසු එම මරණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලියකට යොමුවීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ට සිදුවුවහොත් ඒ ගැන වගකීමක් ගැනීමට හෝ ඊට අදාළ චක්‍රලේඛයක් නොමැතිවීම බරපතළ තත්ත්වයක් බවයි.
මේ අතර හඟුරන්කෙත ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයකු කිලෝමීටර් 27ක් පයින් ගොස් පස් කන්දකට යටවී තිබූ මරණ 07ක් පශ්චාත් මරණ පරීක්ෂණයක් (සිරුර කපා) පැවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ස්ථානයේ සිටි පිරිස දැඩි සේ නොසන්සුන් වී ඔහුට පහරදීමට පවා උත්සාහ දරා ඇති බවත්, පසුව අධිකරණ ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව සාක්ෂි සටහන් කරගෙන සිදුවූ ආපදාව (කන්ද නායයෑම හෝ ගංවතුර) සටහන් කර මෘතදේහ භාරදෙන මෙන් දැනුම් දුන් බවත්, එය ද වාචිකව පමණක් සිදුවූ බවත් ඔහු පවසයි.
ඒ අනුව සභාපතිවරයා සඳහන් කළේ මෘත ශරීරයක් භාරදීම සඳහා පොලිසියට පොලිස්පති සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛ නිකුත් කර ඇතත් එවැනි චක්‍රලේඛයක් හදිසි මරණ පරීක්ෂකවරුන්ට නැති බවයි.
එබැවින් අවම ලෙස දින 10ක කාලයක් බල පැවැත්වෙන ලෙස හෝ කොන්දේසි සහිතව හදිසි මරණ පරීක්ෂකවරුන්ට බලපාන ආකාරයට චක්‍රලේඛයක් නිකුත් කරන්නේ නම් එය තම සාමාජිකයන්ගේ මතු ආරක්ෂාවට හේතු වන බවද හේරත් මහතා සඳහන් කළා.
එමෙන්ම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් 170ක හිඟයක් පවතින බවත් දැනට සිටින 495 දෙනාගෙන් වැඩ ආවරණය කරමින් හදිසි මරණ කටයුතු සිදුකරගෙන යන බවත් ය.