ඓතිහාසික උරුමය රැකගනිමින් නුවරඑළිය වෙනස් වන හැටි- අනාගත පරපුර වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැවැන්ත ව්යාපෘතියක්
ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ පෞරාණික වටිනාකම සහ තැපැල් සේවයේ අනන්යතාව ආරක්ෂා කරමින් එය ජාතික මට්ටමේ සංචාරක ආකර්ෂණයක් බවට පත් කිරීමේ අරමුණින් ප්රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීට පෙර මතභේදයට තුඩු දුන් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සංරක්ෂණය කරමින් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ බවයි.
මේ අතර, තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්රයේ සිදු කෙරෙන ප්රතිසංස්කරණ කටයුතුවල ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය.
එම සංචාරය අතරතුර, ව්යාපෘතියට සම්බන්ධ ශ්රී ලංකා නාවික හමුදාවේ, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එහිදී ව්යාපෘතියේ වත්මන් ප්රගතිය, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්රතිසංස්කරණ කටයුතුවල ප්රමිතිය හා ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්ය තැපැල්පති (මධ්යම) අස්ලම් හසන් මහතා, නියෝජ්ය තැපැල්පති (පරිපාලන/සංවර්ධන - වැඩබලන) චමීෂා ද සිල්වා මහත්මිය ඇතුළු අදාළ දෙපාර්තමේන්තු සහ ශ්රී ලංකා නාවික හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමත්, එමඟින් ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීමත් සඳහා අඛණ්ඩව කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.