පෝලිම්වල ලක්‍ෂ 10ක් හිටියත් දළදා වැන්දේ මෙච්චරයි
ලක්ෂ දහයකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා ගෙවුණු දින 10 තුළ මහනුවරට පැමිණ තිබුණත් දළදා වහන්සේ වැදපුදාගැනීමට හැකිව ඇත්තේ ලක්ෂ හයක පමණ බැතිමතුන් පිරිසකට පමණක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව මගින් කෘත්‍රිම බුද්ධිය (ඒ.අයි. තාක්ෂණය) උපයෝගි කර ගනිමින් සිදුකළ ගණනය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය විය.
පසුගිය (17 වැනිදා) සිට ඊයේ 27 වැනිදා දක්වා දින දහයක් පුරා සිරි දළදා වන්දනාව පැවැති අතර මේ සඳහා දිවයිනේ සතර දෙසින්ම විශාල පිරිසක් මහනුවර ට පැමිණ තිබිණි. සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ ඊයේ දින පමණක් හැත්තෑ හයදහසක බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සිදුකර තිබුණු අතර වන්දනා වාරය ඊයේ පස්වරු 5.30 ට පමණ අවසන් වූයේ පෝලිම්වල රැඳී සිටි දහස් ගණනකගේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තු සුන් කරමිනි.
වී.අයි.පී. පෝලිම් ක්‍රියාත්මක වීමත් පෝලිම්වලට පිටින් ආරක්ෂක අංශ හා බලධාරීන් ඔවුන්ගේ හිතවතුන් ඇතුළු කිරීමත් නිසා මෙම තත්ත්වය ඇති වූ බව බැතිමතුන් චෝදනා කර සිටියේය. පසුගිය 22 දින ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පෝලිම්වලට එක්ව සිටීම නිසා නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාවට නොපැමිණෙන ලෙස පොලිසිය දැනුම් දීමක් කළේය.
ඒ වනවිටත් බස් රථවලින් පැමිණි පිරිස් මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට පත් වූ අතර මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පමණක් එලෙස ජනතාව පැමිණි බස් රථ 32 ක් ගාල්කර තිබිණි. මේ ආකාරයෙන් මහනුවරට ඇතුළු වන සියලු ප්‍රධාන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදා වන්දනා නඩ අදාළ ස්ථානවල නතර කිරීමට පොලිසිය කටයුතු කළේ ඒ වනවිටත් මහනුවර නගරයට දරාගත නොහැකි ජන ගඟක් ගලා තිබූ බැවිනි.
දිනකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව තිබෙන බව පොලිසිය පැවසුවත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ නියෝජිතයන් කළ විද්‍යාත්මක ගණනය කිරිමේ දී හෙළි වූයේ දළදා වන්දනාව සඳහා දිනකට වෙන්කර තිබෙන පැය 6 1/2 ක කාලයේ දී උපරිම ලෙස වන්දනා කළ හැක්කේ සැදැහැවතුන් 70000 කට අඩු පිරිසකට බවයි.
