"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදාවලට මුහුණ දුන් පවුල්වලට සහන සැලසීමේදී රජයේ නිළධාරීන්ගෙන් සිදුවන ප්‍රමාදයන් සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිව ඇති අතර, මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ග්‍රාම නිළධාරී සංගමය විසින් දැඩි අදහස් පළ කර තිබේ.
රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සංගමයේ ලේකම් (නීති හා අධ්‍යාපන) ධර්මපාල කොටුවේවත්ත මහතා ප්‍රකාශ කළේ, දැනට රටේ පවතින ග්‍රාම නිළධාරී වසම් 1,422 අතරින් පුරප්පාඩු 4,000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි.
මේ නිසා සමහර ග්‍රාම නිළධාරීන් වසම් 3 - 4ක් පවා එකවර බලාගැනීමට සිදුවන අතර, එක් නිළධාරියෙකු සේවයට වාර්තා කළ නොහැකි වූ විට යාබද නිළධාරියෙකු එම වසම්ද ආවරණය කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
මෙවැනි ආපදා තත්ත්වයකදී මෙම පුරප්පාඩු ඉතා විශාල ගැටලුවක් බවට ඔහු අවධාරණය කළේය.
“මේ පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධව නිකුත් කරන චක්‍රලේඛ වල යම් යම් ගැටළු තිබෙනවා… මේ ගැටළු විවිධයි… අපිට සමහර උපදෙස් එන්නේ Whats App හරහා, ඒ වගේම දුරකථන හරහා… කවුරු උපදෙස් දුන්නත් මේ විදිහට කරන්න කියලා මට අපේ සහෝදරත්වයට කියන්න තියෙන්නේ, ඒ සියල්ල Screenshot එකක් ගහල සේව් කරලා තියා ගන්න… නැත්නම් එන call recording එකක් තියා ගන්න. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා…
යම් කිසි අවස්ථාවක නිකුත් කරලා තියෙන චක්‍රලේඛ වල තියෙන අඩුපාඩුකම් නිසා කිසිම නිළධාරියෙකුට අපහසුතාවයකට ලක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ… එහෙම කවුරුහරි කරනවා නම් අපිට ඒ අයට කියන්න තියෙන්නේ, අපි බය නැතුව කියනවා අපේ සාමාජිකයන්ට කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ.. ඒ වගේම යම් කිසි කෙනෙක් වැරදි උපදෙස් ලබා දෙන්නේ නම් ඒ අයටද කියන්න තියෙන්නේ, කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ…"
අනෙකුත් සංගම්වලද ප්‍රශ්න රැසක් ගැන ලිපි නිකුත් කර ඇති බවත්, ඉහළ නිළධාරීන්ට පවා මෙවැනි ගැටලු තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කළේ, ග්‍රාම නිළධාරීන් විශාල වෙහෙසක් දරමින් පොදු සේවයක් සිදුකරන බවත්, මෙම ගැටලු මෙලෙසින්ම පවතින්නේ නම් නිළධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සංගමය සූදානම් බවයි.