වසර 65ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින් උතුරු කොරියා අගමැති චීනයේ විශේෂ සංචාරයක
චීනය සහ උතුරු කොරියාව අතර අත්සන් කළ මිත්‍රත්ව, සහයෝගිතා හා අන්‍යෝන්‍ය ආධාර ගිවිසුමේ 65 වැනි සංවත්සරය සැමරීම සඳහා උතුරු කොරියා අග්‍රාමාත්‍ය පාක් තේ සොං චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
දින තුනක නිල සංචාරයක් සඳහා පැමිණි උතුරු කොරියා අග්‍රාමාත්‍යවරයා, එරට පාලක කම්කරු පක්ෂයේ සහ රජයේ නියෝජිත පිරිසක් සමඟ බීජිං නුවරට පැමිණි බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
චීනය සහ උතුරු කොරියාව අතර අදාළ මිත්‍රත්ව ගිවිසුමේ 65 වැනි සංවත්සරය ජූලි 11 වැනිදාට යෙදී ඇති අතර, එය 1961 වසරේ ජූලි 11 වැනිදා අත්සන් කර තිබේ.
මෙම ගිවිසුමට ආරක්ෂක සහයෝගීතා වගන්තියක්ද ඇතුළත් වේ. පාක් තේ සොංගේ මෙම සංචාරය සිදුවන්නේ චීන ජනාධිපති ෂී ජින්පිං පසුගිය මාසයේ උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමෙන් සති කිහිපයකට පසුවය.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක රැසකට මුහුණ දී සිටින උතුරු කොරියාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා වන්නේ චීනයයි.
මේ අතර, චීන ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන මාවතකට ගෙන යාමට කටයුතු කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.