රටම කලබල වූ විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්
විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින්, විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජනතාව කලබල නොවිය යුතු බවත්, වසර තුනක් ඇතුළත විදුලි බිල අඩු කිරීමේ සිය ඉලක්කය කරා රජය ගමන් කරන බවත් මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පවසයි.
ඒ අනුව මාධ්‍ය විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විදුලිය නිෂ්පාදනය සඳහා යන පිරිවැය ආවරණය කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
විශේෂයෙන්ම ආගමික ස්ථාන වැනි අංශ සඳහා විදුලිය ලබා දෙන්නේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලකට බව සඳහන් කළ ඔහු සමස්තයක් ලෙස නිෂ්පාදන පිරිවැය ගණනය කර විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන දත්ත මහජන උපයෝගිතා කොමිසමෙන් නිරීක්ෂණය කරන බව ද කියා සිටියා.
එබැවින් නිෂ්පාදන පිරිවැය වැඩි වන විට ගාස්තු වැඩි වීමටත්, පිරිවැය අඩු වන විට ගාස්තු අඩු වීමටත් ඉඩ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිල යාන්ත්‍රණයෙන් නිවේදනයක් නිකුත් වන තෙක් බාහිර ප්‍රචාරයන් පිළිබඳ කලබල නොවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම විදුලි බිල අඩු කරන බවට මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි බිල අඩු කිරීම වසර තුනක පමණ කාලයක් පුරා ක්‍රමිකව සිදු කරන්නක් බවයි.
එය කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නවාක් මෙන් එකවරම කළ හැක්කක් නොවන බවත්, විදුලි බිල ස්ථාවර කර අඩු කිරීමට නම් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ ක්රමික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම දැනට පවතින උත්පාදන සංයුතියේ සිදුවන වෙනස්කම් මත පදනම්ව විදුලි මිලෙහි තාවකාලික විචලනයන් සිදු විය හැකි වුවද, රජයේ දිගුකාලීන අරමුණ වන්නේ විදුලි බිල අඩු කිරීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම බව ද අනිල් ජයන්ත මහතා එහිදී සඳහන් කර ඇත.