පූස් පැටියෙක් කියලා හදන්න අරන් ගිය සත්වයා අවුරුදු 100කට පස්සේ හොයාගත්ත අලුත්ම වල් බළල් විශේෂයක් වෙච්ච හැටි

By Kanchana Sep 18, 2026 06:32 AM GMT
Report

සියවසකට පමණ පසු විද්‍යාවට මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව වල් බළල් විශේෂයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති. Leopardus tilcayo හෙවත් ‘ටිල්කායෝ ටයිගර් කැට්’ ලෙස නම් කර ඇති මෙම කුඩා වල් බළලා බොලිවියාවේ ඇන්ඩීස් කඳුකරය සහ ඇමසන් ද්‍රෝණිය හමුවන ප්‍රදේශයේ පිහිටි මීදුම් සහිත වනාන්තරවල ජීවත් වන බව අනාවරණය වී තිබේ.

වටකුරු කන්, ලප සහිත සිරුර සහ සිහින් ශරීර හැඩයකින් යුත් මෙම සත්වයා සාමාන්‍ය ගෘහස්ථ බළලෙකුට වඩා කුඩාය.

නව විශේෂය පිළිබඳ විද්‍යාත්මක විස්තරය පසුගිය බ්‍රහස්පතින්දා Current Biology සඟරාවේ පළ කර ඇත. නව ක්ෂීරපායී විශේෂ හඳුනාගැනීම සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය සිදුවීමක් නොවුණද, සාපේක්ෂව විශාල ක්ෂීරපායී සත්ව කාණ්ඩයකට අයත්, මීට පෙර විද්‍යාත්මකව විස්තර නොකළ විශේෂයක් සොයාගැනීම දුර්ලභ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම පර්යේෂණයේ සම-කර්තෘවරියක සහ බොලිවියාවේ වල් බළල් සංරක්ෂණ වැඩසටහනක් මෙහෙයවන පාවෝලා නොගාලෙස්-අස්කාරුන්ස් පවසන්නේ මෙය වසර සියයකට පමණ පසු සිදුවූ විශේෂ සොයාගැනීමක් බවයි. Leopardus tilcayo පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ ලා පාස් නගරය ආසන්නයේ වනාන්තර ප්‍රදේශයකින් සත්ව රැකවරණ මධ්‍යස්ථානයකට රැගෙන ආ බළලුන් දෙදෙනෙකු හේතුවෙනි. එම සතුන්ගෙන් එක් සත්වයෙකු එය ගෘහස්ථ පූස් පැටියෙකු යැයි සිතූ පුද්ගලයෙකු විසින් රැකවරණ මධ්‍යස්ථානයට භාරදී තිබුණි.

මුලදී එම සත්වයා දකුණු ඇමරිකාවේ හමුවන වෙනත් ටයිගර් කැට් විශේෂයකට අයත් විය හැකි බවට සැක කළද, එහි ශරීරයේ ලප සහ වලිගයේ ලක්ෂණ එම විශේෂ සමඟ නොගැළපෙන බව පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබේ.

ඉන් අනතුරුව සිදු කළ ජානමය පරීක්ෂණ මගින් මෙම සතුන් වෙනත් ටයිගර් කැට් පෙළපත්වලින් සැලකිය යුතු ලෙස වෙනස් බව තහවුරු වී ඇත. පර්යේෂකයන්ගේ ඇස්තමේන්තුවට අනුව මෙම නව විශේෂය අනෙකුත් ටයිගර් කැට් පෙළපත්වලින් වෙන්වී ඇත්තේ මීට වසර මිලියන 1.4කට පමණ පෙරය.

මෙම සොයාගැනීමේ තවත් විශේෂත්වයක් වන්නේ බොලිවියාවේ ප්‍රාදේශීය ප්‍රජාවන් මෙම සත්වයා පිළිබඳව විද්‍යාත්මක වර්ගීකරණයට පෙර සිටම දැන සිටීමයි. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මෙම බළලා ‘ටිල්කායෝ’ ලෙස හඳුන්වා ඇති බව නොගාලෙස්-අස්කාරුන්ස් සඳහන් කරයි.

පර්යේෂකයන් එම නමම විද්‍යාත්මක නාමයේ කොටසක් ලෙස භාවිත කර ඇත්තේ ප්‍රාදේශීය ප්‍රජාව සතු සාම්ප්‍රදායික දැනුමට ගරු කිරීමේ අරමුණින් බවද ඇය පවසයි.

දකුණු සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික Leopardus ගණයට අයත් කුඩා වල් බළලුන් වන ටයිගර් කැට් විශේෂ, වනාන්තර විනාශය, සංවර්ධන කටයුතු සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය හේතුවෙන් වාසස්ථාන අහිමිවීමේ අවදානමට මුහුණ දෙමින් සිටී.

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන

නව අධ්‍යයනයට අනුව දකුණු ඇමරිකාවේ ටයිගර් කැට් විශේෂ පහක් පවතින අතර, ඒවා සියල්ලම වේගයෙන් වෙනස් වෙමින් පවතින හෝ අතුරුදහන් වෙමින් පවතින වාසස්ථාන මත රඳා පවතී. කෙසේ වෙතත්, Leopardus tilcayo ගහනයේ ප්‍රමාණය සහ එහි නිශ්චිත ව්‍යාප්තිය පිළිබඳව තවමත් ප්‍රමාණවත් තොරතුරු නොමැත.

ඒ සඳහා තවදුරටත් ක්ෂේත්‍ර පර්යේෂණ සහ විද්‍යාත්මක දත්ත අවශ්‍ය බව පර්යේෂකයෝ පවසති.

මෙම නව විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටිය හැකි බැවින්, එහි ගහනය, වාසස්ථාන සහ සංරක්ෂණ අවශ්‍යතා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම වැදගත් බව පර්යේෂකයෝ අවධාරණය කරති.

විද්‍යාත්මක ලෝකයට නව විශේෂයක් එක්වීම පමණක් නොව, ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පරම්පරාගත දැනුම සහ නවීන ජාන විද්‍යාව එකට එක්වීම මෙම සොයාගැනීමේ විශේෂත්වයක් ලෙසද පර්යේෂකයෝ පෙන්වා  දෙයි

බුලත්කොහුපිටිය නිවසකට ඇතුළු වූ දිවි පැටවා වනජීවී සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් බේරාගැනෙයි

බුලත්කොහුපිටිය නිවසකට ඇතුළු වූ දිවි පැටවා වනජීවී සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් බේරාගැනෙයි