බුලත්කොහුපිටිය නිවසකට ඇතුළු වූ දිවි පැටවා වනජීවී සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් බේරාගැනෙයි
බුලත්කොහුපිටිය, දෙදුගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි හොඳින් වැඩුණු දිවි පැටවෙකු ඒකාබද්ධ මෙහෙයුමකින් පසු වනජීවී නිලධාරීන් විසින් ආරක්ෂිතව මුදාගෙන තිබේ.
ප්‍රදේශයේ නිවසකට දිවියෙකු (Panthera pardus) ඇතුළු වී ඇති බවට බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, සැප්තැම්බර් 15 වැනිදා මෙම මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.
සත්ව වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ වනජීවී නිලධාරීන් විසින් දිවියා ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, අනතුරුව එය මව සමඟ යළි එක් කිරීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, එම උත්සාහය සාර්ථක වී නොමැත.
ඒ අනුව, වැඩිදුර ප්‍රතිකාර හා නිරීක්ෂණ කටයුතු සඳහා දිවියා සැප්තැම්බර් 16 වැනිදා රන්දෙණිගල වනජීවී සත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකය වෙත රැගෙන ගොස් තිබේ.
වනජීවී සත්ව වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මේ වන විට සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුදුසු ස්වාභාවික වාසස්ථානයකට මුදාහැරීමට කටයුතු යොදා තිබේ.
සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත විශේෂයක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා දිවියා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් ලෙස සැලකේ. උගුලකට හසුවී හෝ කිසියම් ස්ථානයකට කොටුවී සිටින දිවියන් වෙත ළඟා වීමෙන් හෝ ඔවුන් මුදාගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස වනජීවී බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
එවැනි සත්වයෙකු හමුවුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත්ව, ළඟම ඇති වනජීවී කාර්යාලය දැනුවත් කරන ලෙස හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1992 ඔස්සේ දැනුම් දෙන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
දිවියා ආරක්ෂිතව මුදාගැනීම සඳහා උපදෙස් පිළිපදිමින් සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ප්‍රදේශවාසීන් වෙත වනජීවී නිලධාරීන් සිය ස්තූතිය පළ කර ඇත. මෙම මෙහෙයුම මා-ඉඹුල් කන්ද වනජීවී අඩවි කාර්යාලයේ අඩවි භාර නිලධාරී සමන් පද්මසිරි මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුකර තිබේ.
බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි සහායකයින් වන ඩබ්ලිව්.ඒ. උදිත් විදුරංග සහ කේ.පී. උදය කරුණානායක යන මහත්වරුන් මෙන්ම, ක්ෂේත්‍ර සහායකයින් වන කේ.ඒ.එන්. කළුආරච්චි සහ ඩී.ඩබ්ලිව්. අනුර ජයතිස්ස යන මහත්වරුන්ද මෙහෙයුමට එක්ව සිටියහ. රන්දෙණිගල වනජීවී සත්ව වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය දිවියා මුදාගැනීමේ මෙහෙයුමට මෙන්ම ඉන් අනතුරුව සිදුකරන ප්‍රතිකාර හා නිරීක්ෂණ කටයුතු සඳහාද සහාය ලබාදී තිබේ.
එමෙන්ම, බුලත්කොහුපිටිය පොලිස් ස්ථානාධිපති කොසල බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක්ද මෙහෙයුම අතරතුර අවශ්‍ය සහාය ලබාදී ඇත.