ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි - සංචාරකයන්ට සුපිරි වාසි රැසක් සමඟින් අලුත් පැකේජයක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධව නව සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සදහන් කර තිබේ
එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ කොළඹ සහ හෝ චි මිං නගරය අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
අදාළ පැකේජය හරහා දෙරටේ පවතින ආගමික සහ සංස්කෘතික සබඳතා මූලික කරගනිමින් ආගමික සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට සහ සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ .
වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන වියට්ජෙට්, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සිය කුළුඳුල් ඍජු ගුවන් ගමන් සේවාව ඊයේ (18) දින නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට එක්වූ විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා, වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණීම ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන්ගේ නව මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් ද පිරිනැමීය.
මෙම ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ වීම, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වියට්ජෙට් ගුවන් සේවය, සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබයි
හෝ චි මිං නගරය, වියට්ජෙට්හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන බැවින්, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම, නැගෙනහිර ආසියාව, ගිනිකොනදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ තවත් බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ