මෙම මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් - අගෝස්තු 31 ට පෙර අයදුම් කරන්නැයි දන්වයි
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ එක් වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
එහි දැක්වෙන ආකාරයට අවම වශයෙන් වසර විස්සක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව දැක් වේ.
කෙසේ වෙතත් මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාවට අනුව ජනාධිපති නීතීඥවරයෙකු වශයෙන් පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය ඇතුළත් කර තිබූණ ද විශේෂිත අවස්ථාවන්හිදී සෙසු සියළුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් වශයෙන් පත් කිරීම පිළිබඳව සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබුණා.
මේ අතර 2026 වසරට අදාළව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබෙනවා.
එබැවින් සුදුසුකම් සහිත පිරිස්වලට අගෝස්තු මස 31 වන දිනට පෙර ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව ද එහි දක්වා ඇත.