''බස් ගාස්තු සංශෝධනයෙන් මගීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා" -චෝදනාවක්
හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා පවසන්නේ මෑතකදී සිදු කළ බස් ගාස්තු සංශෝධනය හේතුවෙන් මගීන්ගේ පාරිභෝගික හා ආර්ථික මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් කොන්දොස්තරවරුන්ට මගීන්ගෙන් ලැබිය යුතු ඉතිරි මුදල් නිසි ලෙස ලබා නොදී අයථා ලෙස පරිහරණය කිරීමට අවස්ථාව සලසා ඇති බවට ඔහු චෝදනා කළේය.
ඔහු සඳහන් කළේ, රුපියල් 34, 44 සහ 54 වැනි ගාස්තු මෙන්ම දුර ගමන් සඳහා පවතින උපරිම ගාස්තු සම්බන්ධයෙන්ද මගීන්ට ඉතිරි මුදල් ලබා ගැනීමේ ගැටලු මතුව ඇති බවයි.
“ඇතැම් අවස්ථාවලදී කොන්දොස්තරවරුන් ඉතිරි මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර, සුළු මුදල් නොමැති බව පවසමින් මගීන්ගෙන් අමතර මුදල් ලබා ගන්නා අවස්ථා දක්නට ලැබෙනවා. එමඟින් මගීන්ට රුපියල් 5, 6 හෝ 9 වැනි මුදල් ප්‍රමාණ අහිමි වනවා,”
යැයි ඔහු පැවසීය. රුපියල් 44ක ගාස්තුවක් සඳහා මගියෙකු රුපියල් 50ක් ලබා දුන් විට ඉතිරි රුපියල් 6 ලබා නොදීම සහ රුපියල් 56ක ගාස්තුවක් සඳහා රුපියල් 60ක් ගෙවීමට සිදුවීම වැනි තත්ත්වයන් මගීන්ට අසාධාරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මගීන් ඉතිරි මුදල් ඉල්ලා සිටින අවස්ථාවලදී ඇතැම් කොන්දොස්තරවරුන්ගේ අයහපත් ප්‍රතිචාර හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්වන බවද ඔහු සඳහන් කළේය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස බස් ගාස්තු වටකුරු අගයන්ට සකස් කිරීම හෝ ඉතිරි මුදල් අයථා ලෙස භාවිත කිරීමට ඉඩ නොදී එම මුදල් රජය පවත්වාගෙන යන මහජන සුභසාධන අරමුදලකට බැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව තරංග එල්. පටබැඳි මහතා යෝජනා කළේය.