ගුවන්තොටුපලෙන් සුබ ආරංචියක්
ශ්‍රී ලංකාව සමග නව ගුවන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ “කැපිටල්” ගුවන් සේවය (Capital Air Lines) බෙයිජිං නුවර, ඩැක්සිං (Daxing) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය (Inaugural Flight) කටුනායක ගුවන් තොටුපොළට අද (31) පස්වරුවේ පැමිණි බව වාර්තා වේ.
මෙම මංගල ගුවන් ගමන සඳහා ඒ.-330 එයාර්බස් ගුවන් යානයක් යොදවා තිබුණ අතර, ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේදී ජල ආචාර පවත්වා පිළිගැනීමක් සිදු කරන ලදි.
චීනයේ බෙයිජිං නුවර සිට කැපිටල් ගුවන් සේවයේ JD-487 ගුවන් යානය අද පස්වරු 01.46 ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණිය, එහි ගුවන් මගීන් 170 ක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 13 ක් සිටි බව වාර්තා වේ.
ඉදිරියේදී, මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම අගහරුවාදා සහ සෙනසුරාදා පස්වරු 02.20 ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ, එදින පස්වරු 04.20 ට බෙයිජිං නුවර වෙත පිටත්ව යාමට නියමිතය.
මෙම ගමන සඳහා ගුවන් කාලය පැය 08ක් වේ.ගුවන් යානය පිළිගැනීමට ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති ෂූ යංවෙයිං (Zhu Yanwei), කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ඇතුළු විශාල සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.