අපිට උදව් එපා - බාහිර රටවල ගලවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය නැහැ - නේපාලයෙන් ප්‍රකාශයක්
නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ආපදාවට ලක්වූවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරමින් සිටින අතර, මෙම අවස්ථාවේදී බාහිර රටවල ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලොක් බහදූර් චෙත්‍රි මහතා පවසා ඇත්තේ ආපදා අවස්ථාවලදී විදේශීය රටවල් ආධාර ලබා දීමට ඉදිරිපත් වීම සාමාන්‍යය වුවද, නේපාලයේ ආරක්ෂක අංශ මේ වන විටත් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් පවතින බවයි.
මේ හේතුවෙන් දැනට එවැනි බාහිර ආධාර අවශ්‍ය නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇති බවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව සහ බංග්ලාදේශය යන රටවල් තම සෙවීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නේපාලයට එවීම සඳහා අවසර ඉල්ලා සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. විදේශිකයන් සිය ගණනක් අතුරුදන්ව ඇති අතර ආපදාවට ලක්වූ චීන සීමාවට ආසන්න රාසුවා (Rasuwa) දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ අතුරුදන්වූවන් අතර දකුණු කොරියානු ජාතිකයින්ද සිටින බැවින් දකුණු කොරියාව දැනටමත් හදිසි ප්‍රතිචාර දක්වන කණ්ඩායමක් නේපාලයට යවා ඇති අතර තවත් ආපදා සහන කණ්ඩායමක් එවීම සඳහා සූදානමින් සිටී. දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ නේපාලය තවමත් විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් භාරගැනීමට සූදානම් නැති බව දැනුම් දී ඇති නමුත්, තම ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සඳහා යෙදවීමට නේපාල රජය සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බවය.