ආන්දෝලනාත්මක අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදු වූ ළමා අපයෝජනය - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවදානයෙන්
මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදු වූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටියි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටින්නේ ඉදිරියටද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවාදැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට සුදානම් බවයි.
මෙම දැරියගේ අයිතිවාසිකම් හා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ලවී නැහැ.
මේ සම්බන්ධ කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරි පියවර ගන්නාබවත් එම අධිකාරිය සඳහන් කළා.
වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති අතර යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවයි.
එසේම මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉතාම වගකීමෙන් දැනුම් දෙන බවත් එම අධිකාරිය පවසයි.