තමන් වැඩකරන පාසලටම දරුවාව දාගන්න පුලුවන්ද? දරුවන් සමග දෙමව්පියන් මහ පාරට
අද (05) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජාතික පාසල්වල වසර තුනකට වැඩි කාලයක් සේවය කළ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල දරුවන් එම පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා මෙතෙක් පැවති වරප්‍රසාදය 2025 වසරේ සිට අහෝසි කිරීමට එරෙහිව ජාතික පාසල් සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරත වූවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර ඊට ඔවුන්ගේ දරුවන් ද එක්ව ඇත.
ඔවුන් පවසන්නේ මීට පෙර ජාතික පාසල්වල වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලයට තම දරුවන් තමන් සේවය කරන පාසලටම ඇතුළත් කර ගැනීමේ විශේෂ අවස්ථාවක් හිමි වී තිබුණු නමුත් 2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි කිසිදු සාධාරණ හේතුවකින් තොරව සහ පූර්ව දැනුම් දීමකින් තොරව එම වරප්‍රසාදය නවතා දමා ඇති බවයි.
මෙම තීරණය හේතුවෙන් වසර තුනක සේවා කාලය සම්පූර්ණ කරමින් එම අපේක්ෂාවෙන් සිටි පිරිස දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කර තිබේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ , මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ ද මෙතෙක් ඊට කිසිදු සාධාරණ විසඳුමක් ලැබී නැහැ. තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව එම සාකච්ඡාවලදී සියලු පාර්ශව පිළිගත්ත ද, ඊට ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
2025 වසරේ අන්තර් මධ්‍ය ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය නිකුත් කිරීමේදී ජාතික පාසල් සේවකයින්ට සාධාරණයක් කරන බවට පොරොන්දු වුවද එය ඉටු වී නොමැති බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 වසරේ සිසුන් ඇතුළත් කර ගැනීමේදී වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සේවකයින් 53 දෙනෙකුගේ දරුවන් ඇතුළත් කරගෙන ඇති බවට ද විරෝධතාකරුවන් මෙහිදී අනාවරණය කළා. එම පිරිස අතර වසරයි මාස හයක් වැනි කෙටි සේවා කාලයක් සහිත අය ද සිටින බැවින්, වසර තුනක් සේවය සම්පූර්ණ කළ තමන්ට මෙම අවස්ථාව අහිමි කිරීම නෛතිකව මෙන්ම සදාචාරාත්මකව ද ගැටලු සහගත ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම වරප්‍රසාදය අපේක්ෂාවෙන් ගාල්ල සහ මාතර වැනි දුර බැහැර ප්‍රදේශවල සිට මාරුවීම් ලබා පැමිණි බොහෝ පිරිසක් මේ අතර සිටිනවා. ඇතැම් දෙමාපියන් තම දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුව ද මෙම කෝටාව යටතේ පාසලට ඇතුළත් කර ගැනීමේ අරමුණින් වෙනත් පාසල් සඳහා අයදුම් නොකළ බවත්, තවත් පිරිසක් එම කාලය සම්පූර්ණ වන තෙක් දරුවන් ජාත්‍යන්තර පාසල්වල රඳවා සිටින බවත් විරෝධතාකරුවන් සඳහන් කළා.
වසර තුනක කාලයක් ජාතික පාසල් පද්ධතිය තුළ කැපවීමෙන් සේවය කළ පිරිසක් මෙලෙස පීඩාවට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් කියා තිබේ. මෙම ගැටලුව සඳහා නිසි විසඳුමක් ලබා ගැනීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව විරෝධතාකරුවන් අවධාරණය කරනවා. එම සාකච්ඡාව ලබා දෙන දිනයක් හෝ කාල රාමුවක් පිළිබඳ ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නම් එය පිළිගැනීමට සූදානම් බවත්, එසේ නොමැති වුවහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් ජාතික පාසල් සුරැකීමේ එකමුතුව නියෝජනය කරමින් පැමිණි පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.