නාමල් උයන ගැන ඇහෙන අලුත් ආරංචිය
ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් සපිරීම නිමිත්තෙන් එය මෙරට ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළඹෙන මාර්තු 27 වනදා පෙරවරු 10.00ට ජාතික නාමල් උයන පරිශ්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි ප්‍රකාශ කර තිබේ .
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති “ජාතික නාමල් උයන ලොවට හඳුන්වා දී 35 වන සංවත්සරය හා එය ජාතික උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර ඇත.
හෙක්ටයාර 602ක් (අක්කර 1500කට ආසන්න) පුරා විහිදුනු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයක් බවත්, එය පාරිසරික සංචාරක කර්මාන්තයේ වැදගත් ආකර්ෂණීය ස්ථානයක් බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.
උන්වහන්සේ පරිසරය විනාශ වූ විට රටක සංවර්ධනය ද අඩාල වන බව අවධාරණය කර ඇත. එය වළක්වා ගැනීමට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත්, මිනිසා ස්වභාවධර්මයට හා ගහකොළවලට ආදරය කිරීමට පෙළඹිය යුතු බවත් සඳහන් කර ඇත.
මෙම 35 වන සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව “ජාතික නාමල් උයන මාවත” ප්‍රකාශයට පත් කිරීම, මෙතෙක් පැවති සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකර විවෘත කිරීම, සහ “ජාතික නාමල් උයන” නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් ජනාධිපතිවරයා අතින් ජනගත කිරීම ද සිදු කිරීමට නියමිත බවයි.