නාමල්ගෙන් ජනපතිට හදිසි ලිපියක් - ණය ගෙවා අවසන් කළ ජනතාවට නැවත ණය - මෙන්න විස්තරේ

Report

ඉදිරි අයවැයෙන් ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

එම ලිපිය මෙසේය.

ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,

ජනාධිපති සහ මුදල් අමාත්‍ය,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි,

ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීම දැනට ව්‍යාපාර පවත්වා ගෙන යන පුද්ගලයන්ට මෙන්ම නව ව්‍යවසායකයන්ට ද ව්‍යාපාර පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීමට බැංකු ණය අත්‍යවශ්‍ය වේ. එහෙත් ණය අයදුම් කිරීමේදී ණය තොරතුරු කාර්‌යාංශයේ (CRIB) වාර්තාව පරීක්ෂා කිරීම හේතුවෙන්, අතීතයේ ණය ගෙවීමේ අපහසුතාවකට මුහුණ දුන් නමුත් පසුව එම ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පුද්ගලයන්ටද නැවත ණය ලබාගැනීමේදී බරපතළ අපහසුතා වලට මුහුණදීමට සිදු වේ. ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් කිසිවෙකු "කළු ලැයිස්තුගත ” (Blacklist) නොකරන නමුත්, ගෙවා අවසන් කළ ණය පිළිබඳ අතීත තොරතුරු වසර 5ක් දක්වා වාර්තාවේ පවතින බැවින්, එය වර්තමාන ණය ලබා ගැනීමේ හැකියාවට එමගින් බලපෑමක් ඇති කරයි.

මෙයට වෙනත් රටවලින්ද ආර්දශ ලබාගත හැකිය. මැලේසියාවේ මධ්‍යම ණය තොරතුරු පද්ධතිය (CCRIS) තුළ ණයක් පියවා අවසන් කළ විට එම තත්ත්වය කඩිනමින් යාවත්කාලීන කරන අතර, ප්‍රධාන වශයෙන් පසුගිය මාස 12ක ආපසු ගෙවීමේ ඉතිහාසය (Repayment History) පෙන්වයි. එබැවින් 2027 අයවැය මගින්,

1. ණය සම්පූර්ණයෙන් පිය වූ පසු වැඩ කරන දින 5ක් ඇතුළත ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාව යාවත්කාලීන කිරීම.

2. ගෙවා අවසන් කළ ණය “ සම්පූර්ණයෙන් පියවා අවසන් කළ '' (Fully Settled/Closed) ලෙස පැහැදිලිව දැක්වීම.

3. පැරණි ණය ගැටලුව පමණක් නොව, වර්තමාන ආදායම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව (Repayment Capacity) මතද ණය තක්සේරු කරන ලෙස බැංකු සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීම.

4. ශ්‍රී ලංකාවේ ණය තොරතුරු වාර්තාවේ අතීත තොරතුරු රඳවා ගැනීමේ කාලසීමාව ජාත්‍යන්තර ආර්දශ සලකා 2027 වසර තුළ සමාලෝචනය කිරීම.

5. සියලු ණය වගකීම් පියවා ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට '' දෙවන අවස්ථා ණය වැඩසටහනක් " (Second Chance Business Loan Scheme) හඳුන්වා දීම.

යන නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි. අතීතයේ ණයක් ගෙවීමට නොහැකි වූ පුද්ගලයෙකු එම ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පසු, නැවත ආර්ථිකයට දායක වීමට අවස්ථාවක් ලැබිය යුතුය.

එය ව්‍යාපාරිකයන්ට පමණක් නොව රටේ ආර්ථික වර්ධනයටද වැදගත් වේ. එබැවින් මෙම ගැටලුවට 2027 අයවැය මගින් කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

ස්තූතියි.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නාමල්ගෙන් ජනපතිට හදිසි ලිපියක් - ණය ගෙවා අවසන් කළ ජනතාවට නැවත ණය - මෙන්න විස්තරේ | Namal Seeks Easier Loans For Settled Borrowers


GalleryGallery