ඇමති ලාල් කාන්ත ආගමික වෛරය පැතිරවූ බවට නාමල්ගෙන් චෝදනා
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝරත්නයට අපහාස කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.
විශේෂයෙන්ම, පසුගිය දිනක මිහින්තලය නායක ස්වාමින් වහන්සේ වලවාහැංගුන වැවේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේට "වනචාරියා" ලෙස හඳුන්වමින් අපහාස කළ බවත්, මෙවැනි බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමන් තරයේ හෙළා දකින බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ICCPR පනතේ "කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම් නොකළ යුතුය" යනුවෙන් සඳහන් වන අතර, ලාල් කාන්ත මහතා මෙහිදී ආගමික ද්වේෂය පතුරුවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
නීතිය සැමට සමාන නම්, බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් සහ ආගමික ද්වේෂය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල් කාන්ත මහතාට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් ආණ්ඩුවෙන් විමසන බවද නාමල් මහතා ප්‍රකාශ කර ඇත.
සාමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙවැනි නීති උල්ලංඝනයක් සිදු කළේ නම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බවත්, ලාල් කාන්ත මහතාගේ ආගමික ද්වේෂය පැතිරවීම සහ මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬව සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද, මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයකු මෙවැනි ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදු කර නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.
මෙම චෝදනාවලට අදාළව ආණ්ඩු පක්ෂයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, මෙය දේශපාලන ක්ෂේත්‍රයේ නව මතභේදයක් ලෙස සැලකෙමින් පවතී.