මුජිබර් පස්සෙන් කල්ලියක් පන්නයි - ගෙදරටත් ඇවිත් මෙන්න විස්තරය
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරන පරිදි, ඔහුගේ සහෝදරියගේ ගල්කිස්සේ නිවසට ඉකුත් 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් කණ්ඩායමක් පැමිණ ඇති බව සඳහන් වේ.
මේ පිළිබඳව රහුමාන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට පැමිණිලි කර ඇත.
මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට අා එම කණ්ඩායම සිම් කාඩ් පතක් නැති වීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇති හෙයින් ඒ ගැන විමසීමට පැමිණි බව ප්‍රකාශ කර ඇත. තමා කිසිවිටෙකත් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මීට ප්‍රථම තමා නිවසේ නොමැති අවස්ථාවක මෙවැනිම කණ්ඩායමක් කොලොන්නාවේ නිවසට පැමිණ තමා පිළිබඳව බිරිඳගෙන් කරුණු විමසා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් කණ්ඩායමක් බිරිඳගේ බොරැල්ලේ මහ ගෙදරටද පැමිණ තමා පිළිබඳව විමසා තිබූ බව සඳහන් කළේය.
මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අද දිනයේ පැමිණිල්ලක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. මෙවැනි නිවට ක්‍රියා වලින් තමා බියවැද්දය නොහැකි බවද ඔහු කීය.