අමානුෂිකව පහර දී අවුරුදු 4ක දැරියක් පාළු පාරක දමා ගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමං කර පළා ගොස් සිටි අවුරුදු 4 ක දැරියගේ මව සහ ඇගේ සගයා (සැකකරු) පොලීසිය විසින් අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
හාලිඇල ප්‍රදේශයේදී හාලිඇල පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකාරිය අදාළ දැරියගේ සැබෑ මව බවට පොලීසිය මඟින් මේ වන විට හඳුනාගෙන ඇත.
ඊයේ (13) පෙර්වරු 7.00 ට පමණ වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටි මෙම කුඩා දැරිය, පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව වත්තේගම පොලීසිය විසින් සිය භාරයට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලදී.
ත්‍රීරෝද රථයකින් පැමිණ දැරිය එම ස්ථානයේ දමාගිය බවට සැකකෙරුණු අතර, සිද්ධියට අදාළ ත්‍රීරෝද රථය සහ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අද පෙරවරුවේදී මෙලෙස සැකකාර මව සහ ඊට සහාය දුන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම සහ හාලිඇල පොලීසි මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.