'දිට්වා' චක්‍රවාතයෙන් හානි - කුණාටුවෙන් ශ්‍රී ලංකාව ණය අර්බුදයකට..- මූඩීස් කියයි
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව අපේක්ෂා කළ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය, 'දිට්වා' චක්‍රවාතයෙන් සිදු වූ හානි කටයුතු සඳහා දැරීමට වන අමතර වියදම් හේතුවෙන් බරපතළ අභියෝගයන්ට මුහුණ දෙනු ඇති බව මූඩීස් රේටින්ග්ස් (Moody’s Ratings) ආයතනය අනතුරු ඇඟවීය.
මූඩීස් ආයතනය නිකුත් කළ විශේෂ වාර්තාවකදී සඳහන් කළේ, "ආණ්ඩුවේ පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම ආපසු හැරවීමක් අපි අපේක්ෂා නොකරන නමුත්, චක්‍රවාතයේ ආර්ථික බලපෑම සහ ඉන් පසුව ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීමට යන වියදම්, ණය පැහැර හැරීමෙන් පසු අපේක්ෂිත මූල්‍ය ඒකාබද්ධතාවය අඩාල කරනු ඇත" යනුවෙනි.
'දිට්වා' චක්‍රවාතය හේතුවෙන් මාර්ග, පාලම්, දුම්රිය ජාල සහ විදුලිබල පද්ධති ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වී ඇති බව මූඩීස් පෙන්වා දෙයි. මෙම හානි රට පුරා සැපයුම් දාමයන්ට සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වලට බරපතළ බාධා ඇති කර තිබේ.
දැඩිම බලපෑමට ලක් වූ අංශ අතරට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේග වන සහ රටේ රැකියා අවස්ථාවන්ගෙන් බහුතරයක් සපයන සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන අංශය ඇතුළත් විය හැකි බව එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් භෞතික දේශගුණික අවදානම් සඳහා ඉහළ ණය නිරාවරණයක් දරන බව මූඩීස් පෙන්වා දෙයි. එහෙත්, ශ්‍රී ලංකාවට සිය අසල්වැසි රටවලට වඩා ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට තිබෙන මූල්‍ය ධාරිතාව බෙහෙවින් දුර්වල බව ඔවුහු අවධාරණය කරති.
මෙවැනි අවදානම් අවම කිරීම සඳහා ඵලදායී පාලනයක් අත්‍යවශ්‍ය වන අතර, බොහෝ විට එය ඉහළ නිරාවරණයක් ඇති කලාපවල භෞතික දේශගුණික අවදානම් අඩු කිරීම හා බැඳී පවතී යැයි මූඩීස් පවසයි.
මෑතකාලීන ප්‍රතිසංස්කරණ හේතුවෙන් යම් දියුණුවක් ඇති වුවද, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙරටටම පාලන නිකුත්කරු පැතිකඩ ලකුණු 4 ක් හිමි වී ඇති බව මූඩීස් සඳහන් කරයි. මෙයින් පෙන්නුම් කරන්නේ පාලන අවදානම් සඳහා ඉහළ ණය නිරාවරණයක් ඇති බවයි.
මෙම තත්ත්වය යටතේ, ආපදා පසු කළමනාකරණය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ අතර සමබරතාව රැකගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුවට බරපතළ අභියෝගයක් වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.