කාදිනල් තුමාගෙන් රජයට බලපෑමක් නැ මේක බෞද්ධ රටක් කියලා එතුමා දන්නවා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසන්නේ, ශාසන විරෝධී හා විනය විරෝධී ක්‍රියා කරන භික්ෂූන්වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමට හැකිවන පරිදි, විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති කඩිනමින් සංශෝධනය කරන බවයි.
මේ බව ඔහු මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත පැවසීය.
වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නීති සංශෝධන කටයුතු වත්මන් රජය යටතේ අවසන් කර ඇති අතර, එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.
ඉතා කෙටි කාලයකින් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.
මෙම පනත සම්මත වූ පසු, කිසියම් භික්ෂුවක් විනය විරෝධී ක්‍රියා කරනවා නම්, අදාළ නිකායේ මහානායක හිමියන්ගේ නිර්දේශය මත, අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ එම භික්ෂුව ශාසනයෙන් ඉවත් කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශයට බලය හිමිවනු ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, එය පවතින නීති රීති යටතේම පැවැත්වෙන බව අවධාරණය කළේය.
දියවඩන නිලමේ ධුර කාලය වසර 10ක් බව පනතේ පැහැදිලිව සඳහන් වන අතර, එය දිනකින් දෙකකින් හෝ අමාත්‍යවරයෙකුගේ තනි තීරණයකින් වෙනස් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, වත්මන් රජයට කාදිනල් හිමිපාණන්ගෙන් කිසිදු බලපෑමක් නොමැති බවත්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව උන්වහන්සේ පැහැදිලිව පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද සහභාගී වී සිටියේය.